rakwana-girl-death

ලැගුම් හළක පෙම්වතා සමග නවාතැන් ගැනීමට ගිය විසි දෙහැවිරිදි තරුණියක එම කාමරයේදී අභිරහස් ලෙස මරුමුවට පත්වූ සිදුවීමක් රක්වාන පොලිස් බල ප්‍රදේශයේ මාදම්පේ හෝටලයකින් වාර්තා විය.
 ඇය ගෙල වැලලා ගෙන මියගිය බව පෙම්වතා පැවසුවත් එය සැක සහිත බව මියගිය තරුණියගේ දෙමාපියෝ පවසති.
රක්වාන පුංචි බාර්වත්ත ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණන් ප්‍රදීපා නම් තරුණියක මෙලෙස මිය ගියාය.මියගිය තරුණිය ඇයගේ පෙම්වතා සමග 04 වැනිදා දහවල් මාදම්පේ පනාවල මාර්ගයේ පිහිටි ලැගුම් හලට පැමිණ එහි කාමරයක් කුලියට ගෙන එහි නවාතැන් ගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදි හෙළිවී තිබේ. එම පෙම්වතා 24 හැවිරිදි රක්වාන ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරකු බව පොලිසිය පවසයි.


මෙදින රාත්‍රි පෙම්වතා හෝටලයෙන් පිටතට ගිය බවත් තම පෙම්වතියට බඩගිනි යැයි පවසා ඇයගේ බැංකු කාඩ්පත ලබා දී කෑම ගෙන එන ලෙස තමාට පැවසූ බවත් පෙම්වතා රක්වාන පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.

තමා හෝටලයේ කාමරයට එන විට එහි දොර වසා තිබූ බවත් තම පෙම්වතිය දොර විවෘත නොකළ බවත් ඒ අවස්ථාවේ හෝටලය භාරව සිටි කාන්තාවට ඒ බව දැනුම් දුන් බවත් පෙම්වතා පොලිසියට ප්‍රකාශ කර තිබේ. කාමරයේ පිටුපසින් ගොස් එහි ජනේලය කඩා කාමරය තුළට යන ලෙස එම කාන්තාව කළ දැනුම් දීම අනුව තමා කාමරය තුළට ගිය විට පෙම්වතිය හැඳ සිටි සල්වාරයෙන් ගෙල සිරකරගෙන සිටි බවත් ඒ අවස්ථාවේ දී තමා ඇයගේ ගෙල බැඳි රෙදි කැබැල්ල ලිහා ඇය ත්‍රිරෝද රථයට දමා ගත් බවත් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාව දී හෝටලය භාරව සිටි කළමනාකාරිණියට පෙම්වතා පවසා ඇත්තේ තම පෙම්වතියට සිහි නැතිව කාමරයේ ඇදවැටී සිටින බවකි.  තරුණිය රෝහලට රැගෙන යද්දී තරුණයාගේ ත්‍රිරෝද රථය අතරමග නැවතීමෙන් පසු ඔහු වෙනත් ත්‍රිරෝද රථයකින් ඇය රෝහලට රැගෙන ගිය බවද පැවසේ.
තරුණිය රෝහල් ගතකර ඇත්තේ  ඇය සිහිසුන්ව සිටින බවක් එම තරුණයා රෝහලට පවසමිනි. ඇය ගෙළ වැලලාගත් කතාවක් පවසා නැත.


තරුණියගේ අභිරහස් මරණය සම්බන්ධව රක්වාන වැඩබලන මහෙස්ත්‍රාත් සරත් විජයගුණවර්ධන මහතාගේ නියෝගයකට අනුව
කහවත්ත මූලික රෝහලේ දී කහවත්ත අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.ඩී.එම්.එස්.කේ. දිසානායක මහතා ඊයේ (05 වැනිදා) පස්වරුවේ පැමිණ මේ
සම්බන්ධව පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේ දී ඇයගේ මරණය ගැන විවෘත තීන්දුවක් ඊයේ ලබා දුණි.
තරුණියගේ ශරීර කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා යොමු කර තිබේ.
පෙම්වතා විසින් එක් එක් අයට පරස්පර ප්‍රකාශ ලබා දී ඇතැයි ද ඒ ගැන ද විමර්ශනය කරන බව ද රක්වාන පොලිසිය පවසයි. මියගිය තරුණිය හෙද පාඨමාලාවක් සිදු කර පුද්ගලික රෝහලක රැකියාවක නිරතව හිඳ මෙයට මාසයකට පෙර ඉන් ඉවත්ව ඇතැයි ඇයගේ පියා කේ .ක්‍රිෂ්ණන් පැවසීය.
රක්වාන පොලිසිය ස්ථානාධිපති අනුර සෝමසිරි මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වික්‍රමපාල මහතා පරීක්ෂණ සිදු කරයි.
විවෘත තීන්දුවක් ලබාදුන් නිසා මියගිය තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට නොගත් බව ද වැඩිදුර විමර්ශනය සිදු කරන බව ද පොලිසිය පවසයි.