rakwana-incident

රක්වාන පොලිස් වසමට අයත් මාදම්පෙ ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ දී පසුගිය දා අභිරහස් ලෙස මියගිය තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (06) සවස රක්වාන පුංචි බාරවත්තේ දී සිදුවූ අතර එහිදී පොලිසිය හා ජනතාව අතර උණුසුම්කාරී තත්ත්වයක් ද ඇතිවිය. මෙසේ මියගොස් ඇත්තේ ක්‍රිෂ්නන් ප්‍රදීපා නමැති විසි දෙහැවිරිදි තරුණියකි. අවසන් කටයුතු සඳහා රැගෙන ආ දේහය රක්වාන දෙනියාය ප්‍රධාන මාර්ගයේ තබා මරණය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මාර්ගය හරස් කර ගම්වාසීහු හා පවුලේ ඥාතීහු විරෝධතාවක් සිදු කළහ. එහෙත් පවුලේ ඥාතීන් කිහිප දෙනෙක් මෙම විරෝධතාවට අකමැත්තක් ද දැක්වූහ.



තරුණිය සමඟ ලැගුම්හලට ගිය තරුණයා පොලීසිය විසින් නිදහස් කිරීම පිළිබඳව ද දැඩි ජනතා විරෝධයක් මෙහිදී එල්ල වූ අතර විරෝධතාකරුවන් හා මාර්ගයේ ගමන් ගත් කිහිප දෙනකු සමඟම උණුසුම් වචන හුවමාරු වෙනු දක්නට ලැබිණි.මේ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සෝමසිරි මහතා කරුණු පැහැදිලි කළද එය ප්‍රමාණවත් නොවුණු බව පෙනී ගියේය. පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස පිටත්ව ගිය අතර ටික වේලාවකට පසුව රැස්ව සිටි පිරිස දේහය මිහිදන් කිරීම සඳහා රැගෙන ගියහ.
 තුෂාර හෙට්ටිආරච්චි