rmv-issues-nishantha-anuruddha

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී හෙලි කර තිබෙන තොරතුරු කිහිපයක් පහතින්

ආදායම් බලපත්‍ර නැති වාහන සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද?


වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන පද්ධතියෙන් ඉවත් කිරිමට තීරණයක් තවම දෙපාර්තමේන්තුව ගෙන නැහැ. එහෙත් මේ වන විට පරිගණක පද්ධතිය තුළ ලක්ෂ 83ක් වාහන ලියාපදිංචි වී තිබෙනවා. ඉන්ධන ගැටලුව සමඟ QR සඳහා ලියාපදිංචි වී තිබුණේ වාහන ලක්ෂ 60ක් පමණයි. තිබෙන වාහනවලින් විශාල ප්‍රමාණයක් ඉන්ධන ලබා ගැනීමට ලියාපදිංචි වී තිබුණේ නැහැ. ඒ අනුව පළමු අදියර ලෙස එක දිගට වසර පහක් ආදායම් බලපත්‍රය ලබා ගෙන නැති වාහන මොනවාද කියා සොයා බලන්න අපි තීරණය කළා. ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ බලය තිබෙන්නේ පළාත් සභාවලටයි. සියලුම පළාත් සභාවලින් වසර 05ක් එක දිගට වාහන බලපත්‍ර ලබා නොගත් වාහන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස මේ වන විටත් මා ඉල්ලා තිබෙනවා.
ඉදිරියේදී මෙම වාහන අසාදු ලේඛනගත කර දිස්ත්‍රික්කය පුරා සිටින මෝටර් රථ ප්‍රවාහන පරීක්ෂකවරුන් මාර්ගයෙන් මෙම වාහන පරීක්ෂා කර බලා, ගැටලු විමසා භාවිතයේ නැත්නම් පද්ධතියෙන් ඉවත් කිරිමට බලාපොරොත්තු වෙනවා.



රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණය අසමත් වන අය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?

ඒ අයට නැවත අයදුම් කළ හැකියි. මත්ද්‍රව්‍ය අරන් තිබෙන අයෙකුට මාසයක් කල් දෙනවා. ඒ කාලය තුළ නැවත ඔහු වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටිය යුතුයි. ඒ වගේම ආබාධිත අයෙකුට රියැදුරු බලපත්‍රය ලබා දුන්නේ වසර දෙකින් දෙකට. එය අපි ඉවත් කර ආබාධිත තත්ත්වයෙන් පසු වන අයෙකුට. සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රය වසර අටකටත් ආදී ලෙස පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රයට විශාල පිළිගැනීමක් තියෙනවා නේද?

ඔව්. අපිට අවස්ථාව ලැබිලා තිබෙනවා එංගලන්තය සමඟ අපේ රටේ රියැදුරු බලපත්‍රය සමාන සේ සලකා කටයුතු කරන්නට. අපි මේ සඳහා අවශ්‍ය මූලික කටයුතු අවසන් කර අදාළ ගිවිසුම අවසන් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. මේ ලෙසම ඉතාලිය සමඟත් ගිවිසුම්ගත වෙන්න අවශ්‍ය කටයුතු අපි සිදු කර තිබෙනවා. ඉදිරියේදී අනෙකුත් රටවල් සමඟත් ගිවිසුම් ගත වෙන්න අපි සූදානමින් සිටිනවා. මේ සඳහා අපිට විශාල විදේශ විනිමයක් ලැබෙනවා. ඒ වගේම විදේශ සංචාරකයන්ට රියැදුරු බලපත්‍රයක් අවශ්‍ය නම්, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටු- පළින් පිටතට පැමිණීමේදී ගුවන්තොටුපළේදීම ලබා දෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා. දැනට වේරහැර ඒ සඳහා පහසුකම් තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය වන්නේ වලංගු විදේශ ගමන් බලපත්‍රය, අදාළ රටේ රියැදුරු බලපත්‍රය සහ අපේ රටේ රැඳී සිටීමට අවශ්‍ය වීසා පමණයි. ඒ සඳහා රුපියල් 20,000ක මුදලක් අය කරනවා. දැනට මාසික තාවකාලික රියැදුරු බලපත්‍රයක් සඳහා අය කරන්නේ රුපියල් 2,000ක් පමණයි.

වාහනවලට අදාළ අංක තහඩු විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී තිබෙනවාද... ඒ ඇයි?

ඔව්. වාහන විකිණීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන හිමියාට නිකුත් කරන, එහෙත් වාහන හිමියන් විසින් රැගෙන නොගිය අංක තහඩු 50000ක් පමණ පරිසරයට හිතකර නොවන අයුරින් එකතු වී තිබෙනවා. මින් පසුව පළාත්වල ලියාපදිංචි වන අක්ෂරය ඉවත් වනවා. දැනට නිකුත් කර තිබෙන වාහනවල පළාත් අක්ෂරය ඉවත් වෙනවා. යම් පළාතක නිකුත් කර ඇති වාහනය විකුණුවහොත් ඉන් පසු ලැබෙන අංකයට අක්ෂරය එන්නේ නැහැ. ඇතැම් වාහන විකුණුව ද ඊට ලැබෙන අංක තහඩු වාහන හිමියන් විසින් ලබා ගෙන යන්නේ නැහැ. මේ වන විට භාවිත කරන අංක තහඩු ඒ ලෙසම භාවිත කළ හැකියි. මේ තත්ත්වය වැළැක්වීම සහ ඊට වැය වන වියදම් අඩු කිරීම සඳහා වාහන අංක තහඩුවල මෙතෙක් පැවැති පළාත් අක්ෂරය වෙනස් කිරීමට පියවර ගනු ලැබුවේත් මේ නිසයි. මෝටර් රථයක් පැවර්මේදී සම්පූර්ණ කළ යුතු පිටු 24 යුත් පොරමය පිටු 12න් යුක්තව නිකුත් කිරීමට ද පිය වර ගනු ලැබුවා. මේ සියලු බලපත්‍ර එකක් ලෙස සකස් කර QR කේතය සහිත රියැදුරු බලපත්‍රයක් ලබා දීමට අපි පියවර ගන්නවා. අලුත් කරන රියැදුරු බලපත්‍ර සඳහා නව QR කේතය සහිත රියැදුරු බලපත්‍ර ලබා දීමටත් කටයුතු කරනවා.



රියැදුරු බලපත්‍රය ජංගම දුරකතනයට ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටිනවාද?

ඕව්. ඊට අදාළ සාකච්ඡා මේ වනවිට සිදු කරමින් පවතිනවා. මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කළ පසුව රියැදුරු බලපත්‍රයක් සඳහා කාඩ් පතක් අවශ්‍ය වන්නේ නැහැ. එය ජංගම දුරකතනයට ලබා දෙන අතර, අවශ්‍ය පුද්ගලයෙකුට කාඩ්පත ද ලබාගත හැකියි. මේ දිනවල රියැදුරු බලපත් මුද්‍රණ කටයුතුවල ප්‍රමාද- යක් පවතින්නේ එහි යෙදවුම්වල ගැටලුවක් හේතුවෙන්. එය ඉදිරි මාස හයක පමණ කාලය ඇතුළත සමනය වේවි. ජංගම දුරකතනයට රියැදුරු බලපත්‍රය ලබා දුන් පසුව එය වඩාත් පහසු වනවා.

සේවා ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයින්ට නිසි ලෙස සේවා නොලැබෙන බවට චෝදනා එල්ල වෙනවා?

මහ ජනතාවට පහසුවෙන් තම සේවාව කර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කරලයි තිබෙන්නේ. සියලු නිලධාරීන් දැනුවත් කර තිබෙන්නේ යම් ගැටලුවක් තිබේ නම් මෙහි පැමිණෙන කිසිවෙක් හරවා නොයවන ලෙසටයි. ඔවුන්ට සිය සේවාව ලබා දීමට නොහැකි නම් මා වෙතට යොමු කරන ලෙස මා සියලු නිලධාරීන්ට උපදෙස්ද ලබා දී තිබෙනවා. ඔවුන්ට විසඳිය නොහැකි යම් ගැටලුවක් තිබෙන්නේ නම් සේවාව ලබා ගැනීමට දෙපාර්තමේන්තුවට එන ඕනෑම කෙනෙක් ආපහු හරවා යවන්නේ නම් එය සිදු කළ යුතු වන්නේ මා දැනුවත් කර බවද මා දැනුම් දී තිබෙනවා. මම හැම විටම කියන්නේ මෙම ස්ථානයට එන සෑම පුද්ගලයෙක්ගේම අවශ්‍යතාව ඉටු කළ හැකි වන පරිදි තම රාජකාරි වපසරිය සකස් කරගන්න කියලයි.



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට විවිධ ක්ෂේත්‍ර පාදක කර ගනිමින් මින් පෙර චෝදනා රැසක් එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කුමක්ද?

අපේ නාරාහේන්පිට ආයතනය පිහිටා ඇති වටපිටාව ගත්තාම එළියේ තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීමට එහි ලොකු අපහසුතාවයක් තිබෙනවා. වැරදි ආකාරයට කටයුතු කරන අය සම්බන්ධව
කටයුතු කිරීමට බොහෝ වෙලාවට මම උත්සාහ කළා. ඒ අනුව මෙම ස්ථානයට පැමිණෙන අය පොලඹවා ගන්නට උත්සාහ කරන අය සම්බන්ධයෙන් පියවර ගන්න අප කටයුතු කර තිබෙනවා. එහිදීත් ගොඩක් සීමාවන් අපිට තිබෙනවා. පිටත සිටින කිසිවකුටත් කිසිදු ලියවිල්ලක් භාර නොදෙන ලෙස මේ වන විටත් ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක් සවි කර පැය භාගයෙන් භාගයට නිවේදන නිකුත් කරනවා. ඒ වගේම විමසීමට යමක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමසීම් කවුළුවට පැමිණ විමසන ලෙසටත් දැනුම් දුන්නා.

සාකච්ඡාව - සුභාෂිණී සේනානායක
ඡායාරූපය - රංජිත් අසංක