ප්‍රකට ගායක සමන් ද සිල්වා ඇතුළු පස් දෙනකුගෙන් යුත් පිරිසක් පානදුර ප්‍රදේශයේ ආපන ශාලාවකින් රාත්‍රී ආහාර ලබාගෙන රණ්ඩු කර බිල් නොගෙවා පළායාමේ සිද්ධිය සම්බන්දයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ අරඹා තිබේ. පෙරේදා රාත්‍රි 11.20 ට පමණ සමන් ඇතුලු 5 කගෙන් යුත් පිරිසක් පැමිණ පරාටා සහ කොත්තු ආහාරයට ගැනීමෙන් අනතුරුව එහි බිල නොගෙවා පිටව ගිය බව පැමිණිල්ලේ සඳහන්ය.
සමන් ද සිල්වා ඇතුළු පිරිස පරාටා විස්සක්, උම්බලකඩ සම්බෝලයක්, කුකුළු මස්, කිරි හා පරිප්පු ආහාරයට ගෙන ඇති අතර පැණි බීම බෝතල් දෙකක්ද පානය කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ සඳහා රුපියල් 1650 බිල ගෙවන ලෙස දැනුම් දී ඇති අතර සමන් ද සිල්වා ඇතුළු පිරිසක් ආපනශාලාවේ ඉදිරිපිටට ගොස් කැෂියර්ට කාඩ් පතක් දිගු කර අපට මේකින් විතරයි ගෙවන්න පුලුවන් කියා කලහ කර ඇත. එම සයිවර් කඩය නෝට්ටු හා කාසි පමණක් ගනුදෙනු සඳහා භාවිත කරන ස්ථානයක් විය. සමන් සමග පැමිණි කිසිවෙකු අත 1650 මාරු නැතිවීම ගැටලුවකි.
කැෂියර් වෙත ගිය සමන් නැවත පැමිණ ආපන ශාලාවේ හිමිකරු සහ සේවකයන් සමග බහින්බස් වී සේවකයන්ට පහර දී දේපළවලට අලාභ හානි සිදුකර ඇතැයි පැවසේ.
එම අවස්ථාවේදී සමන් ද සිල්වා මහතා "උඹලා දන්නැද්ද යකෝ මම සමන් ද සිල්වා කියලා" යනුවෙන් ආවේගශීලීව හැසිරී ඇති බවත් ඔහු සමග සිටි පිරිස වේටර්වරයකුට සහ මුදල් අයකැමිවරයාට පහරදී අනතුරුව ප්ලාස්ටික් පුටු වලින් හෝටලයේහිමිකරුට සහ සේවකයන්ට පහර දී විකිණීමට තිබූ වතුර බෝතල් රැසකට අලාභානි සිදුකර පළාගිය බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
සමන් ද සිල්වා ඇතුළු පිරිස ආවේගශීලීව හැසිරෙන අයුරු එහි සේවකයකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබිණි.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්නගේ උපදෙස් මත පානදුර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාඋල්ල ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.
0 Comments