sea-water-level-rise

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද (05දා) දින මුහුදු රළ උස මීටර් 2.5ත් 3.0ත් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ නිසා එම මුහුදු ප්‍රදේශය රළු වන අතර, එම තත්ත්වය විටින් විට ඉතා රළු විය හැකි බවත්, මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ නිසා මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශ තරමක් රළු වන බවත්,

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවත්, මේ අනුව අද දින බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසිද ඇති විය හැකි බවත්, වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 45ත් 50ත් දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිව ඉහළ යා හැකි බවත්, මේ නිසා තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එච්.අයි. තුෂාර