sl-rupee-goes-down

මෙම වසරේ පළමු මාස 6 තුළ ආසියාවේ හොදම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ ශ්‍රී ලංකා රුපියල මසක් තුළදී ආසියාවේ දුර්වලම ක්‍රියාකාරීත්වයක් ඇති මුදල් ඒකකය බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. පොලී අනුපාත අඩු කිරීම සහ ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් ඉදිරියේ දී රුපියල තවත් දුර්වල විය හැකි බව එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ජූලි මාසයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 6 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් දුර්වල වී ඇති බවත් මෙම මාසයේ දී පිට පිට දින 14ක් රුපියලේ අගය පහත වැටී තිබෙන බව ද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.



ශ්‍රී ලංකා රුපියලේ අගය දින 14ක් තිස්සේ පහත වැටීම අවුරුදු 5ක කාලය තුළ රුපියලේ අගය පහත වැටුණු දීර්ඝතම දින ගණන බවද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත. මේ වසරේ පළමු මාස 6 තුළ දී ශ්‍රී ලංකා රුපියල සියයට 19කින් ශක්තිමත් වෙමින් ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ බවත් ජූලි මාසය තුළදී සියයට 6කටත් වඩා වැඩි ප්‍රමාණයකින් දුර්වල වී ආසියාවේ දුර්වලම ක්‍රියාකාරිත්වයක් ඇති මුදල් ඒකකය බවට පත් වී ඇති බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකා රුපියල වසර අවසාන වන විට තවත් සියයට 8කින් අවප්‍රමාණය වී ඇමෙරිකානු ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් 355 පසු කර යනු ඇතැයි ද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත.
විමුක්ති එස්. රුද්‍රිගු