පොලිස් නිලධාරීන් බවට හඳුන්වා දෙහිවල, නැදිමාල ව්‍යාපාරිකයකුගේ නිවෙසට ගොස් ඔහු සම්බාහන මධ්‍යස්ථානයකට ගිය බවට පියාට සහ බිරිදට පවසන බවට බියවද්දා රුපියල් ලක්ෂයක මුදලක් බලෙන් ලබාගෙන ඇතැයි දෙහිවල පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා පෙරේදා ( 3 ) පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පැවසීය.



පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි නාඳුනන දෙදෙනකු ව්‍යාපාරිකයා හමුවී ඔහු සම්බාහන මධ්‍යස්ථානයේ දී ඇසුරු කළ කාන්තාවට සමාජ රෝග තිබෙන බවට තහවුරු වී ඇති බවට පවසා තිබූ බව පොලිසිය කියයි. ඒ හේතුවෙන් ව්‍යාපාරිකයාගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකර එම වාර්තා එන තෙක් රිමාන්ඩ් කිරීමට සිදුවන බවත් එසේ නොකර සිටීමට නම් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන ලෙස බියවද්දා මුදලක් ලබාගත් බවට පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.

එච්.එම්. ධර්මපාල