sports-chain

‘ස්පෝට්ස් චේන්’ නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින්, පිරමීඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1,500කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ගුරු අඹුසැමි යුවළක් එක් අයකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (24) නියෝග කළේය.

මෙම සැකකාර අඹුසැමි යුවළ විදෙස්ගතව සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී පෙරේදා (23) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙලෙස ඇප මත මුදාහැරුණේ, අනුරාධපුරයේ පදිංචි ප්‍රසාද් ජයවීර සහ නදීෂා මදුෂානි නමැති ගුරු අඹුසැමි යුවළකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සැකකාරියට සඳහන් කළේ, ඇයගේ මව ඊයේ රාත්‍රියේදී හදිසියේ මිය පරලොව ගිය බවය. ඒ අවස්ථාවේදී එම සිදුවීම නොදැන සිටි සැකකාරිය මහ හඬින් හඬා වැලපෙන්නට වූ අතර, පසුව හඬමින්ම අධිකරණයට ඉදිරිපත් වනු දක්නට ලැබිණි.



තම සේවාදායකයන් දෙදෙනා ඉකුත් 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී ඩුබායි රාජ්‍යයේ සේවය සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණීමේදී අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනමක් හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බව, සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නිරෝෂන් පෙරේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකාරියගේ මව හදිසියේම වියෝ වූ පුවත අසන්නට ලැබුණු බවත්, එය මේ වන තෙක් සැකකරුවන් දැන නොසිටි බවත්, නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් කෝටි 11ක මුදලක් ගිණුම්ගත වී ඇති බවත්, එම මුදල ඔහු විසින් මෙහි ප්‍රධාන සැකකරුවකු වන ගිරිබාව පදිංචි රොවින්ද මංජුල මැදවත්ත යන අයගේ ගිණුමට බැර කරනු ලැබ ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ,

අදාළ මුදල් සියල්ලම තම සේවාදායකයා විසින් මැදවත්ත යන අයගේ ගිණුමට බැර කරනු ලැබූ බවත්, ඒවා තම පෞද්ගලික පරිභෝජනයට නොගත් බවත්ය. ‛ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා' නමැති ආයතනයේ ප්‍රධානින් පස් දෙනකුට විදෙස්ගත වීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝග නිකුත් කෙරුණේ ඉකුත් වසරේ මැයි මස 12 වැනිදාය. ඒ අනුව, එලෙස විදෙස් ගමන් තහනමක් නිකුත් වූයේ, නල්ලවත්ත පාර, මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, පින්නවලපිටියවත්ත, බමුණුවිල, කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර, කහතිලගම, පොල්පිතිගම පදිංචි ශානක මධුෂාන් විජේසිංහ, පහළ ගිරිබාව, ගිරිබාව පදිංචි රොවින්ද මංජුල මැදවත්ත සහ කුඩමිටිකුළිය, නිකවැරටිය පදිංචි ප්‍රදීප් කුමාර හන්තාන යන අයවලුන්ටය. මේ වන විට මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 12 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඇප මත මුදාහැර සිටිති.
නිමන්ති රණසිංහ