පාතාලයේ ප්‍රබල වෙඩික්කරුවකු ලෙස සැලකෙන, නාවික හමුදාවෙන් පලා ආ භටයකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක් අතර මිනුවන්ගොඩ, මහගම, හොරම්පැල්ල ප්‍රදේශයේ නිවසක දී ඊයේ (20) අලුයම සිදුවූ වෙඩි හුවමාරුවකදී එම හිටපු නාවික භටයා වෙඩි වැදී මියගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙසේ වෙඩි කා මිය ගොස් ඇත්තේ කසුන් ලක්ෂිත සිල්වා නමැති විසිනව හැවිරිදි අයෙකි. වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල් එරංග (18920) මහතා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මියගිය පුද්ගලයා ඩුබායි රටට පලා ගොස් සැඟවී සිටින 'හඳයා' නමැති ප්‍රබල පාතාල කල්ලි නායකයකු ඇතුළු පාතාල කල්ලි නායකයන් කිහිප දෙනකුගේම වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය. හෝමාගම ප්‍රදේශයේ දී පසුගිය ජුනි 20 වැනි දා පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ ද ඔහු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. පාතාල ලෝකයේ වෙඩික්කරුවකු ලෙස සැලකෙන මෙම පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ බිරියගේ නිවසේ සැඟවී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීමට ඊයේ අලුයම ගොස් නිවෙස වටලා ඇත.
එම අවස්ථාවේ මෙම නිවස තුළ සැඟවී සිටි හිටපු නාවික හමුදා භටයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර පසුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔහුට ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත. තුවාල ලැබූ එම පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මිනුවන්ගොඩ රෝහලට රැගෙන යනු ලැබූ අතර වෛද්‍යවරුන් ඔහු පරීක්ෂා කර බලා මිය ගොස් ඇති බව දැනුම් දුන් බව එම බළකාය සඳහන් කරයි.සැකකරු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් බවට සැලකෙන ටී 56 ගිනි අවිය ද සැකකරු වැටී සිටි ස්ථානයේ තිබී සොයා ගනු ලැබීය. මෙම වෙඩි හුවමාරුවේදී සැකකරුගේ බිරියට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවද එම බළකාය සඳහන් කරයි. විශේෂ කාර්ය බළකාය සහ මිනුවන්ගොඩ පොලීසිය එක්ව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. මියගිය පුද්ගලයාට අවුරුදු තුනක දරුවකුද සිටින බව දැන ගන්නට ඇත.
ටෝනි කරුණානායක
0 Comments