ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුරාට්හිදී ඉදිකෙරුණු සුරාට් දියමන්ති වෙළෙඳ මධ්‍යස්ථානය (Surat Diamond Bourse) ලොව විශාලතම ගොඩනැගිල්ලට හිමි වාර්තාවට හිමිකම් කීමට සමත්ව ඇතැයි වාර්තා වෙයි. මහල් 15කින් යුත් මෙම ගොඩනැගිල්ල අක්කර 35ක භූමියක් පුරා ඉදිකර තිබේ.

මධ්‍යයේ පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලට සම්බන්ධ කෙරුණු ඍජුකෝණාස්‍රාකාර ඉදිකිරීම් නවයකින් සමන්විත මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ඉන්දියාවේ දියමන්ති කර්මාන්තයේ අනාගත සංවර්ධනය වෙනුවෙනි. ඒ අනුව, මෙම සුරාට් දියමන්ති වෙළෙඳ මධ්‍යස්ථානය දියමන්ති සදහා ඉන්දියාව තුළ ඇති එකම මධ්‍යස්ථානය ලෙස නම් කර තිබේ.

විශේෂයෙන්ම ඉන්දියානු දියමන්ති අලෙවිකරුවන්ට මෙන්ම දේශීය,  විදේශීය ගනුදෙනුකරුවන්ටද වඩාත් පහසුවෙන් සිය ගනුදෙනු සිදු කරගැනීමේ අවස්ථාව සැලසීම මෙහි අදහස වී ඇත.

ඒ අනුව, ඉන්දියාවේ දියමන්ති කර්මාන්තයට සම්බන්ධ දියමන්ති කපන්නන්, ඔප දමන්නන් සහ ගනුදෙනුකරුවත් ඇතුළු 65,000කට අධික දියමන්ති හා සම්බන්ධ වෘත්තිකයන් වෙත මෙම ගොඩනැගිල්ල පහසුකම් සලසනු ඇතැයි සදහන් වෙයි. අද වනවිට ලොව සිදුවන දියමන්ති කැපීම, ඔපදැමීම ඇතුළු කටයුත්තෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් සිදු වන්නේ ගුරාටයේ සුරාට් නුවර තුළදීය.



මෙම සුරාට් දියමන්ති වෙළෙඳ මධ්‍යස්ථානයේ ගෘහනිර්මාණ සැලසුමට අනුව එහි විශාලත්වය වර්ග අඩි මිලියන 7.1ක් පමණ වෙයි. ඒ අනුව, මෙතෙක් ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ලෙස සැලකුණු පෙන්ටගනය අභිභවමින් ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල බවටද අද එය පත්ව තිබේ.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වූ වියදම ඉන්දියානු රුපියල් බිලියන 32ක්, එනම් ඩොලර් මිලියන 388ක් ලෙස ගණන් බලා ඇත.

වාර්තාවලට අනුව එහි කාර්යාලය කාමර 4,700කට අධික ප්‍රමාණයක් පිහිටා තිබේ. එසේම දියමන්ති කැපීම සහ ඔපදැමීම සදහා වන කුඩා වැඩපොළ රැසක්ද එහි පිහිටුවා තිබේ. එසේම ගොඩනැගිල්ල සතුව ආපනශාලා, සිල්ලර අලෙවිසැල්, සුවතා මධ්‍යස්ථාන, සම්මන්ත්‍රණ ශාළා ඇතුළුව සේවකයන් වෙත පහසුකම් රැසක් ලබාදී තිබේ. ගොඩනැගිල්ල තුළ ඇති සෝපාන සංඛ්‍යාව 131කි.

2019 වසරේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම ගොඩනැගිල්ලේ වැඩ අවසන් කිරීම සදහා වසර හතරක කාලයක් ගත වී තිබේ.

එහෙත්

COVID-19 වසංගතය හේතුවෙන් වසර දෙකක කාලයක් එහි ඉදිකිරීම් පමා වී ඇත. ලබන නොවැමබර් මාසයේදී පළමු වැනි සේවකයන් පිරිස එම ගොඩනැගිල්ල වෙත සේවයට පැමිණීමට නියමිතව තිබේ.

එසේම සුරාට්හි මෙම දියමන්ති වෙළෙඳ මධ්‍යස්ථානය මෙම වසර අගදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කිරීම සැලසුම වී තිබේ. නරේන්ද්‍ර මෝදි ගුරාට ප්‍රාන්තයේ උපත ලැබූවෙකු වන අතර, මීට පෙර එම ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙසින්ද කටයුතු කළේය. ඒ අනුව, මෝදි මෙම අවස්ථාව ලබන

වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේ ප්‍රවර්ධන අවස්ථාවක් ලෙසද යොදාගනු ඇතැයි සදහන් වෙයි.

මෙම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණ ශිල්පී සමාගම වන්නේ ඉන්දියානු සමාගමක් වන Morphogenesis සමාගමයි. ජාත්‍යන්තරව පැවැත්වුණු නිර්මාණ තරගාවලියකින් ජය ගැනීමත් සමග එම සමාගමට මෙය පිරිනමා තිබේ. එම ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් ගෝධාවි සදහන් කරන ආකාරයට මෙම ගොඩනැගිල්ල නිසා සෑම දිනකම දුම්රිය ඔස්සේ මුම්බායි නුවර සිට දියමන්ති ව්‍යාපාරය වෙනුවෙන් සංචාරය කරන දහස් ගණනකගේ කාලය ඉතිරි වෙයි.


එසේම කාන්තාරයක් වැනි භූමියක ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල සිසිලනය කිරීම ස්වාභාවික සංවාතනයක් හරහා සිදු කරයි. ඒ සදහා සුදුසු ලෙස මෙම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණ ශිල්පය සකස්කර තිබේ. ගෙඩනැගිල්ල පහළින් ගලා බසිත ජලය මගින් එහි අභ්‍යන්තර උෂ්ණත්වත්, පහත හෙළයි. මේ අතර ගොඩනැගිල්ලේ අනෙකුත් ප්‍රදේශ වෙත අවශ්‍ය බලශක්තිය ලබා ගන්නේ සූර්ය බලශක්තියෙනි.
 



&