ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැඩසටහන්හි හිමිකාර සමාගම වන Meta Inc. සමාගම මගින් Threads නමින් කෙටි පණිවුඩ ඇප් වැඩසටහනක් අද (06දා) දිනයේදී නිල වශයෙන් එළිදක්වන්නට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව Apple Store හරහා පෙර ඇණවුම් ක්‍රමය යටතේ අද දිනයේ සිට ඇපල් ජංගම දුරකථන වෙත මෙම වැඩසටහන ඩවුන්ලෝඩ් කරගත හැකිය.



මෙම Threads වැඩසටහන වර්තමානයේදී ලොව වඩාත් ජනප්‍රිය කෙටි පණිවුඩ ඇප් වැඩසටහන ලෙස සැලකෙන Twitter වැඩසටහනට තරගයක් ලෙස ඉදිරිපත් කරවූවක් ලෙස පැවසෙයි. අද වනවිට Twitter වැඩසටහනේ හිමිකරුවා වන්නේ ලොව ධනවතා වන එලෝන් මස්ක්ය.

මෙහිදී නවතම Threads වැඩසටහන Meta Inc. සමාගමේ Instagram වැඩසටහන මත පිහිටුවමින් ඉදිරිපත් කරවන්නක් බව සදහන් වෙයි. ඒ අනුව මෙය අක්ෂර පාදක කරගත් සංවාදාත්මක ඇප් වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි බව සමාගම පවසයි. එසේම Instagram හි නම අනුව ඊට ඇතුළු විය හැකි බවත්, එහි සිටින පරිශීලකයන්ද නව Threads වැඩසටහනේ පරිශීලකයන් ලෙස එකතු වන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

විශේෂයෙන්ම එලෝන් මස්ක් පසුගිය වසරේදී ඩොලර් බිලියන 44කට Twitter සමාගම මිලදී ගැනීමෙන්  අනතුරුව මේ දක්වා ඊට එක් කර ඇති වෙනස්කම් හේතුවෙන් ජනතාව එවැනි ආකාරයේ විකල්ප වැඩසටහනක අවශ්‍යතාවකින් පෙළෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙහි අලුත්ම වෙනස්කම ලෙස Twitter පරිශීලකයෙකුට දිනකට කියැවිය හැකි Twitter පණිවුඩ සංඛ්‍යාව සීමා කිරීමටද මස්ක් පසුගියදා පියවර  ගත්තේය.

"Threads කියන්නේ ජනතාව එකට එකතු වී අද දවසේදී සහ හෙට දවසේදී ප්‍රධාන මාතෘකා බවට පත්විය හැකි කරුණු පිළිබඳව සාකච්ඡා කරන ස්ථානයක් වේවි.” යනුවෙන් Meta සමාගම සඳහන් කර සිටියි.