three-wheel-theft

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියැදුරන් රැගෙනවිත් තියුණු ආයුධ පෙන්වා මරණීය තර්ජනය කර පහර දී ඔවුන් සතු දේපළ සහ ත්‍රිරෝද රථ කොල්ල කෑ සිවු දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි. සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක් මන්නයක් සහ උල් පිහියක්, කොල්ල කන ලද මුදලින් රුපියල් 10,000ක් ජංගම දුරකතන 4 ක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.



මීට දින කීපයකට ඉහත දී පානදුර නගරයේ සිට කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථ දෙකකට අවස්ථා දෙකකදී ගොඩ වූ සිවුදෙනකු අළුබෝමුල්ල පමුණුගම තොටුපොළ අසල කැලෑබද ප්‍රදේශයට රැගෙනවිත් තියුණු ආයුධ පෙන්වා මරණීය තර්ජනය කර බියගන්වා පහර දී රියදුරන් සතු ජංගම දුරකතන, මුදල් පසුම්බි මෙන්ම ත්‍රී රෝද රථ දෙක ද කොල්ලකෑම සම්බන්ධයෙන් පැය දෙකක පමණ කාලයක් තුළ දී ලද පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී සැකකරුවන් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීට පෙර ද මෙවැනිම අපරාධ සහ මත්ද්‍රව්‍ය චෝදනා ඇති අය බවත් පොලිසිය කීය.

පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී කොල්ලකන ලද ත්‍රිරෝද රථ දෙක එක් සැකකරුවකුගේ නිවෙස පිටුපස සගවා තිබිය දී සොයාගත් බව පොලිසිය කියයි. සැකකරුවන් දෙදෙනා සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් තිබුණු බවත් කොල්ල කෑමට යොදාගත් තියුණු ආයුධ තුන ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.

මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ තවත් දෙදෙනෙකු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු මත හඳුනාගෙන ඇති අතර එම දෙදෙනා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය කියයි. මත්ද්‍රව්‍යවලට ද තදින්ම ඇබ්බැහි වූ සැකකරුවෝ දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
සුමිත් පොතුපිටිය