muruddeniye-seelarathana-death

සැක කටයුතු ලෙස අපවත්වී සිටි තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙණියේ සීලරතන හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සෙනසුරාදා (15දා) මුරුද්දෙණිය ශ්‍රී ටැම්පිට විහාරස්ථාන ආදාහන මළුවේ දී සිදු කිරීමට නියමිතය. හතරලියද්ද පොලීසිය සහ එහි දායක සභාව අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉහත තීරණයට එළඹ තිබුණි.



එම විහාරස්ථානයට යන මාර්ගයේ සැක කටයුතු ලෙස වැටී අපවත් වී සිටියදී උන්වහන්සේගේ දේහය පෙරේදා (12දා) අලුයම පොලීසිය ඊසින් සොයාගනු ලැබීය. එසේ අපවත් වන අවස්ථාවේදී උන්වහන්සේ සරමක් සහ ටී ෂර්ට් එකක් හැඳ සිටි අතර උන්වහන්සේගේ අතේ එළවළු මල්ලක් හා ජංගම දුරකථනයක්ද විය.

ජීවත්ව සිටියදී ගමට සිදු කළ සේවාව සහ ගම්මුන් සමඟ පැවැත්වූ සුහදශීලී දිවි පැවැත්ම හේතුවෙන් එම විහාරස්ථානයේ දායක සභාව උන්වහන්සේගේ අවසන් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට එකඟතාවකට පැමිණ තිබේ.

තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙණියේ සීලරතන (අවු.67) හිමියන්ගේ අපවත් වීමට හේතුව හෘදවස්තුව අකර්මණ්‍ය වීම බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

උන්වහන්සේගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්. පී. ජයසූරිය මහතා විසින් ඊයේ (13දා) සිදු කරන ලදී . අපවත්වීම පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා උන්වහන්සේගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර, මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණි.

ෂේන් සෙනෙවිරත්න

සිද්ධියට අදාළ පෙර විස්තරය
සරමක් ටීෂර්ට් එකක් ඇඳගෙන එළවළු මල්ලක් සමග අපවත්වී වැටී සිටි අධිකරණ සංඝනායක හිමියෝ