veyangoda-incident

වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ විශාල ගසක අඩි 100කට වඩා උසින් සාදන ලද අට්ටාලයක සිට ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් පෙරේදා (25 වැනිදා) පස්වරුවේ වටලා , සැකකාරියක හෙරොයින්, ජාතික හැදුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර හා ජංගම දුරකතන සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය කියයි.



අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.

අට්ටාලය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 400ක්, ජාතික හැඳුනුම්පත් 6ක්, විදෙස් ගමන් බලපත්‍ර 5ක් සහ ජංගම දුරකතන 8ක් ද පොලිස් භාරයට ගෙන ඇත.



සැකකාරිය ඇයගේ නිවසට යාබදව පිහිටි කැලෑබද ප්‍රදේශයක ඇති විශාල ගසක් උඩ, කිසිවෙකුට නොපෙනෙන අයුරින්,  ලී කොටන් සහ ලෑලි යොදා සාදා ඇති අට්ටාලයක සිට කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව  විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලීසිය කියයි.

මුදල්, මල්ලක දමා ලණුවක් ආධාරයෙන් අට්ටාලයට යැවීමෙන් පසුව, අට්ටාලයේ සිට පහළට කුඩු එවීම කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

අට්ටාලයේ සිට අවට ප්‍රදේශයේ විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමට හැකි බවත්, බාහිර පුද්ගලයන් පැමිණීම අට්ටාලයේ සිට නිරීක්ෂණය කර ඇති බවත් පොලීසිය කියයි.

හෙරොයින් මිලදී ගැනීමට මුදල් නොමැති පුද්ගලයන්ගේ ජංගම දුරකතන, ජාතික හැඳුනුම්පත් හෝ විදෙස් ගමන් බලපත් ඇපයට තබා, හෙරොයින් ලබා දී ඇති බවත්, කොපමණ මුදලක හෙරොයින් ලබා දුන්නා ද යන්න එම ජංගම දුරකතනවල පිටුපස සඳහන් කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.



සැකකාරිය සිය සැමියා ද සමග මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති අතර, සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

සැකකාරිය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ සහ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව, වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ අධීක්ෂණය යටතේ, උප පොලිස් පරීක්ෂක හශාන් වීරසිංහ, කොස්තාපල්වරුන් වන (87712) දිලන්ක, (86231) රංග, කාන්තා පොලිස් සැරයන් (1881) තුෂාරි, කාන්තා පොලිස් කොස්තාපල් (8879) රත්නායක යන මහත්ම මහත්මීහු වැටලීම කළහ.

මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ වාරණ ආනන්ද ඉ.ජයකොඩි