vinoj-jayasundara-accident

මොරටුව සරසවියෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය ලබා ශිෂ්‍යත්වයක් ලැබ ඇමෙරිකාවේ Apple සමාගමේ සේවය කරමින්
මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටි ශ්‍රී ලාංකිකයකු හදිසි අනතුරකින් මියගොස් ඇත.
ඔහු මේරිලන්ඩ්හි සිටින අතර අධ්‍යයන කටයුත්තකට කැනඩාවට ගොස් සිටිය දී වැන්කුවර් නගරයේදී බීමත් රියැදුරකුගේ අපරික්ෂාකාරී රිය පැදවීමක් හේතුවෙන් අනතුරට ලක්ව මියගිය බව කියැවේ.



මෙලෙ‍ස මියගොස් ඇත්තේ ඇම්.එච්. විනෝජ් යසංග ජයසුන්දර නමැති 28 හැවිරිදි තරුණයෙකි. කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකරගත් විනෝජ් යසංග තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිය ද එංගලන්තයේ ලන්ඩන් සරසවියෙන් නීතිවේදී උපාධිය ද දිනාගෙන ඇත.

ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළුවී එහි තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහු කැලිෆෝනියාවේ පිහිටි ඇපල් සමාගමේ ද සේවය කරමින් සිටියේය.

ආචාර්ය උපාධියට අදාළ පරේක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සඳහා කැනඩාවේ වැන්කුවර් නගරයට ගොස් යළි නවාතැන් පොළට යමින් සිටිය දී විදුලි සංඥා පුවරුවක් අසල සිය මෝටර් රථය නතර කර තිබිය දී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පිටුපසින් හප්පා එම අනතුර සිදුකර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර  ඇත.

අනතුරෙන් පැය 12කට පමණ පසුව ඔහු මිය ගිය බව එරට බලධාරීන් ජයසුන්දර මහතාගේ දෙමව්පියන්ට දැනුම් දී තිබේ. සිද්ධියෙන් දින 19කට පමණ පසුව මෘත දේහය මත්තේගොඩ පිහිටි නිවසට ඊයේ (11) රැගෙන ආ අතර අවසන් කටයුතු අද (12) පස්වරුවේ ගාල්ල බටපොළ මානන්ගොඩ පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.