visakha-vidyalaya-issue

පියා හින්දු භක්තිකයකු බැවින් දියණියත් හින්දු භක්තිකයකු යැයි විශ්වාස කොට කොළඹ විශාඛා විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මවක විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ දියණියගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීරණය කිරීමෙන් පසුව වහාම සති දෙකක් ඇතුළත ඇය පාසලේ දෙවැනි වසරට ඇතුළත් කර ගන්නා ලෙස කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියට නියෝග කළේය. ක

ොළඹ හැව්ලොක් ටවුමේ පදිංචි පවිත්‍රා ඉලේපෙරුම මහත්මිය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශිත තීන්දුවේ මෙසේ සඳහන් වේ. පෙත්සම්කාරිය ඇගේ දියණිය කොළඹ විශාඛා විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත. පෙත්සම්කාරියගේ දියණිය හින්දු භක්තිකයකු වීම හේතුවෙන් ආගම පදනම් කරගෙන ඇබෑර්තු අවසන් යනුවෙන් සම්මුඛ පරීක්ෂණයකින් තොරව අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇත.



පෙත්සම්කාරියගේ සැමියා හින්දු භක්තිකයකු වුවත් ඇගේ දියණිය බෞද්ධය. ඉන් අනතුරුව අභියාචනයක් අභියාචන මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. ඇයට ඉන් ලකුණු 47ක් ප්‍රදානය කෙරිණි. එහෙත් පාසලට ඇතුළත් කර නොගැනිණි .පෙත්සම්කාරිය කියා සිටින්නේ ඇයගේ දියණියට ලකුණු 69ක් හිමිවිය යුතු බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදි පෙත්සම්කාරියගේ දියණිය පාසලට ඇතුළත් නොකිරීමට ගෙන ඇති තීරණය වැරදි සහගත බව අධිකරණයේ මතයයි. විදුහලට ළමුන් ගෙන ඇත්තේ කඩඉම් ලකුණු 53 සීමාවට යටත්වයි. එහෙත් පෙත්සම්කාරියගේ දියණියට ලකුණු 59ක් ලැබිය යුතු වේ. ඒ අනුව  පෙත්සම්කාරියගේ දියණිය පාසලේ දෙවැනි වසරට ඇතුළත් කර ගන්නා ලෙසට තීන්දුවේ සඳහන් වේ. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේෂා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.

විමුක්ති එස් රුද්‍රිගු