father-water-bsine-kid

වතුර බේසමක ගිල්වමින්, කෲරත්වයට පත් කරන ලද බව කියන කුඩා දරුවා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසකින් සොයාගත්බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය සඳහන් කරයි. සිවු හැවිරිදි එම පිරිමි දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇතැයි එහි නිලධාරියෙක් කීය.

පුද්ගලයකු කුඩා දරුවකු වතුර බේසමක ගිල්වමින්, කෲරත්වයට පත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල ඉකුත් දින කිහිපයේ සංසරණය වූ අතර, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත, උප පොලිස් පරීක්ෂක කාන් ඩිපන් මහතා සිදු කළ පරිගණක විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව,

එම දරුවා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසකින් සොයාගත් බව පොලීසිය පවසයි.

දරුවාගේ පියා හෘදයාබාධයකින් මියගොස් ඇති අතර, මව මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ්ගතව සිටින බව පොලීසිය කියයි. දරුවාගේ ලොකු අම්මා බාරයේ සිටි දරුවා, ලොකු තාත්තා විසින් කෲරත්වයට පත් කරනු ලැබ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම පුද්ගලයා හෙරොයින් මත්කුඩු සමග වැල්ලම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ, රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව අනාවරණය වී ඇත. කුඩා දරුවා අධිකරණ වෛද්‍යවරයකු වෙත ද ඉදිරිපත් කර ඇත. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත, එහි ස්ථානාධිපති (කාන්තා) ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා මහත්මිය සහ උප පොලිස් පරීක්ෂක කාන් ඩිපන් මහතා මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.
බිමල් ශ්‍යාමන් ජයසිංහ

සිද්ධියට අදාළ පෙර විස්තරය‍
පුතා වතුර බේසමක ඔබා පහරදුන් පියා ගැන තොරතුරු