
ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේ පිහිටි ගඟක නෑමට ගිය ශ්‍රී ලාංකික විසිපස් හැවිරිදි තරුණයකු සැඩ පහරකට හසු වී, ගසාගෙන යද්දී එම තරුණයා බේරා ගැනීමට ගඟට පැන්න ඔහුගේ 60 හැවිරිදි පියා ද පුතු සමග දියේ ගිලී මිය යාමේ සිද්ධියක් ඉතාලියෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ, වෙන්නප්පුව, බෝලවත්ත ප්‍රදේශයේ දුලාත් විරංජය සහ ඔහුගේ පියා ලෙස්ලි යන දෙදෙනාය. ඉතාලියේ රැකියා කරන පිය පුතු දෙපල ඔවුන්ගේ ඥාතීන් සහ මිතුරන් පිරිසක් සමග ඉකුත් සිකුරාදා මෙම ගඟේ නෑමට ගොස් ඇතැයි ඉතාලියෙන් ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරයි.ගඟේ බැස, නාමින් සිටි විසිපස් හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා ගසාගෙන යනවා දුටු ඔහුගේ 60 හැවිරිදි පියා එක්වරම සිය පුතා බේරා ගැනීමේ අරමුණෙන් ගඟට පනිද්දී ඔහු ද සැඩ පහරට හසු වී, ගසාගෙන ගොස් ඇතැයි ඉතාලියෙන් ලැබෙන එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. පිය පුතු දෙපළ සමග නෑමට ගිය පිරිස වහාම මේ බව හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු, යුද හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් පැමිණ පැය කිහිපයකට පසු ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත.
මිලානෝහි පිහිටි රෝහලක මෘත ශරීරාගාරයේ පිය පුතු දෙපලගේ මළ සිරුරු තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. මියගිය තරුණයා ඉතාලියේ ක්‍රිකට් කණ්ඩායමක සාමාජිකයෙකි. පශ්චාත් මරණ පරීක්ෂණ සහ හදිසි මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු පිය පුතු දෙපලගේ සිරුරු මෙරටට ගෙන ඒමට නියමිතව ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval