woman-holds-world-record-largest-donation-of-breast-milk-premature-babies

ඇමෙරිකානු ජාතික එළිසබෙත් ඇන්ඩර්සන් සියේරා නමැති දෙදරු මවක තම මවුකිරි පරිත්‍යාග කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. වසර තුනක කාලයක් තුළ මවුකිරි ලීටර් 1,599.68 ක් පරිත්‍යාග කරමින් එළිසබෙත් මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගොන් ප්‍රාන්තයේ අලෝහා හි පදිංචිකාරිනියක වන එළිසබෙත් 2015 පෙබරවාරි 20 සිට 2018 ජූනි 20 දක්වා කාලය තුළ මවුකිරි ලීටර් 1,599.68 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත.

ලෝක වාර්තාව සඳහා 2015 සිට 2018 වසර දක්වා වසර තුනක කාලය පමණක් ගණන් බලා ඇතත් තමන් මේ දක්වා පසුගිය වසර නවයක  කාලය තුළ මවුකිරි අවුන්ස 3,50,000 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති බවත් එම මවුකිරි නොමේරූ ළදරුවන් පෝෂණය කරමින් ජීවිත දහස් ගණනක් බේරාගැනීමට සමත් වූ බවත් එළිසබෙත් ප්‍රකාශ කර ඇත. ඉන් ජීවිත කොපමණ සංඛ්‍යාවක් බේරාගෙන තිබේදැයි නිශ්චිතව පැවැසිය නොහැකි බව එළිසබෙත් පෙන්වා දී ඇත. තමන්ගේ සිරුරේ ප්‍රෝලැක්ටින් හෝමෝනය වැඩි වශයෙන් නිපදවෙන බවත් ඒ හේතුවෙන් සෑම විනාඩි කිහිපයකට වරක් තම සිරුරේ මව් කිරි නිපදවෙන බවත් ඇය පවසා ඇත. එය රෝගී තත්ත්වයක් වුවත් ඉන් නොසැලී ඉදිරියටත් තම මව්කිරිවලින් ලෝකයේ දරුවන් පෝෂණය කරන බව ඇය පෙන්වා දී තිබේ.

විමුක්ති එස් රුද්‍රිගු