woman-leasing-company

කාන්තාවකට අත්විලංගු දමා ලේ වැගිරෙන තුරු පහරදෙමින් වත්තල ප්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයකු ලබන 20වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (17දා) නියම කළේය.



සැකකාර පොලිස් සැරයන්වරයාට ඇපදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට වත්තල පොලීසිය වාර්තාවක් මගින් දැනුම් දී තිබුණත්, සිද්ධිය සම්බන්ධයෙන් ව්මර් ශනය කිරීම සඳහා පොලීසියට කාලය අවශ්‍ය බව පෙන්වා දෙමින් සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

පොලිස් නිලධාරියකු වශයෙන් රාජකාරි කරමින් සැකකරු කළ ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසමින් මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ජාඇළ පොලීසියට අනුයුක්තව රාජකාරී කරන වටරැක පාදුක්කේ පදිංචි සැරයන් 42440 විතානගේ අජිත් නමැත්තාය. මහදවල් දෙනෝ දහසක් බලා සිටියදී වත්තල හැඳල හන්දිය ආසන්න ප්‍රදේශයේදී කාන්තාවකට ලේ වැගිරෙන තුරු පහරදෙමින් ඇයට අත්විලංගු දමා මීගමුව- කොළඹ ප්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන ගියේ යැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් බව කියමින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්  වත්තල පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.




සැකකාර පොලිස් සැරයන්වරයා වත්තල පොලීසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී පහරකෑමට ලක් වූ කාන්තාව දැන හඳුනාගෙන ඇති බවත්, පසුව සැකකරු පෞද්ගලික ලීසිං ආයතනයකින් ඔහුගේ ත්‍රිරෝද රථය සඳහා ලීසිං පහසුකම් ලබාගැනීමේදී ඇපකාරිය වශයෙන් අත්සන් කොට ඇත්තේ ඇය බවත්, දැනුම් දුන් පොලීසිය, ලීසිං ආයතනයෙන් කළ දැනුම් දීමකට අනුව ඇය එහි පැමිණි අවස්ථාවේ සැකකරුද එහි පැමිණ "සම්පුර්ණ ලීසිං මුදලම දාපන්' කියා තර්ජනය කර ඔහු ළඟ තිබූ අත් විලංගු ඇයට දමා ඇයට පහරදී ඇතැයි ද දැනුම් දුන්නේය.

 පොලීසිය සැකකරුට එරෙහිව දෙපාර්තමේන්තු මට්ටමින් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය නැති බවට පැමිණිලිකාරිය පවසන්නේ සැකකරුගේ බලපෑම මතදැයි විමර්ශන කරන බවත් දැනුම් දුන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසිල් රත්නායක මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය නැති බවට පැමිණිලිකාරියම පවසන හෙයින් තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කිරීමට කැලණිය සහකාර පොලිස් අධිකාරී  01ට නියම කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල යළි කැඳවනු ලබන 20වැනිදා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය  දැනුම් දීමට පොලීසියට නියම කළේය.
- බුද්ධිමාල් රුබේරු