yakaha-ulpoth

රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ 50 හැවිරිදි දෙදරු මවක මීට වසර දෙකකට ඉහත දී ඝාතනය කර ගෙවත්තේ වළදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විසිහය හැවිරිදි පුතා මහියංගනය වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා විසින් ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූහ. ඉකුත් 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේදී සිදුව ඇති මෙම ඝාතනයෙන් මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්.එම්. සෝමවතී නමැති දෙදරු මවකි. මෘත දේහය අද (31) දිනයේ ගොඩගන්නා ලෙස නියෝග කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිරුර වළදැමූ ස්ථානය පෙන්වීමට සැකකරුවන් රැගෙන එන ලෙසට ද නියම කළේය.



මෙම කාන්තාව අතුරුදන්වී ඇති බවට සහ එය සැක සහිත බවට ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රිදිමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ආර්.සී. වීරකෝන් මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ගේ ද සහාය ඇතිව විමර්ෂණ කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙහි ප්‍රධාන සැකකරු වන මියගිය කාන්තාවගේ සැමියාගෙන් කිහිප වරක් කළ ප්‍රශ්න කිරීම්වල දී මීට වසර දෙකහමාරකට පෙර එනම් 2021 වර්ෂයේ දී මෙම කාන්තාව ඝාතනය කර තම 26 හැවිරිදි පුතා සමග එක්ව සිරුර වැසිකිළි වළකට දමා සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ නිවෙසින් පිට වාසයකර ඇති අතර මාස 4 කට 5 කට වරක් නිවෙසට පැමිණ ඇති බවත් 2021 පෙබරවාරි මස නිවෙට පැමිණ නැවත යාමේ දී සැමියාගෙන් රුපියල් පන්සියයක මුදලක් ඉල්ලා ඇති බවත් කියති. මේ සම්බන්ධයෙන් දින කිහිපයක්ම නිවසේ අඩ දබර වී ඇති අතර පෙබරවාරි මස 13 සහ 14 වන දිනයන්ගෙන් එක් දිනක උදෑසන මෙම කාන්තාව සහ සැමියා අතර ගැටුම දුර දිග ගොස් මව ඝාතනය වී ඇතැයි පොලිසිය කියයි.

පසුව පියා පුතාගේ නිවසට ගොස් අම්මා මැරුණා යැයි පවසා ඇති බවත් ඉන් පසු පියා සහ පුතා එක්ව මිය ගිය කාන්තාවගේ සිරුර නිවෙස අසල අලුතින් හාරන ලද වැසිකිළි වළකට දමා වසා ඇති බවට සැකකරුවන් කළ පාපෝච්චාරණයෙන් හෙළිවූ බවත් රිදිමාලියද්ද පොලිසිය කියයි.

මියගිය කාන්තාවගේ ඥාතීන් කිසිවකු නොමැති බවත් කිසියම් පුද්ගලයකු ඇය කුඩාකළ සිටම හදා වාඬාගෙන ඇති බවත්, පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. මෙම කාන්තාව කාලයක් නිවෙස්වල සහ ඇතැම් ප්‍රදේශවල විවිධ රැකියාවන් හි නිරත වී ඇති අතරතුර මෙම පුද්ගලයා සමග විවාහ වී ඇති බවත් එම පුද්ගලයාට සහ මෙම කාන්තාවට දරුවන් දෙදෙනෙකු සිටින බවත් පොලිසිය පවසයි. මෙම ඝාතනයට සම්බන්ධ බව කියන 72 හැවිරිදි සැමියා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සමග පවසා ඇත්තේ තම බිරිඳ නිවසින් රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් එහිදී කොරෝනා හැදිලා මත් මියයන්නට ඇතැයි සිතන බවත්ය. සැකකරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවී මෙම කාන්තාව මියගිය තැනැත්තකු බව පවසා ඇයගේ නම ඡන්ද නාම ලේඛනයෙන් ද ඉවත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

ඉන්දිකා රාමනායක