zoo-animals

ඉන්දීය සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ තායිලන්තයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය සඳහා කැසවරි පිරිමි සතුන් දෙදනකු හා ගැහැනු සත්වයකු පරිත්‍යාග වශයෙන් ලැබිණැයි ජාතික සත්වෝදනන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාරිය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය. මෙම සතුන් තිදෙනා මාසයකට පමණ කාලයක් සත්ව නිරෝධායනය යටතේ පශු වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය ඇතුළු වෛද්‍ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ තබා මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසු මහජන ප්‍රදර්ශනයට යොමුකළ හැකිවේ යැයි බලාපොරොත්තු වන බව ද ඒ අනුව නවක සතුන් මෙරට දී පාසල් ළමයින් ඇතුළු නරඹන්නන් සඳහා පහසුවෙන් නැරඹීමට හැකි වන බවත් ඒ මහතා පැවැසීය.



සතුන් වැඩි වශයෙන් උතුරු ඕස්ට්‍රේලියාව, නීව්ගිනියාව, සෙරම් හා ආරු දූපත්වල වසන බවත්, උසින් අඩි පහක් පමණ වන අතර, බරින් කිලෝ ග්‍රෑම් 44 සිට 60 දක්වා වැඩෙන අතර, ආහාර රටාව වශයෙන් පලතුරු, කුඩා පෘෂ්ඨවංශී සතුන් හා ගොඩබිම වෙසෙන ගොළුබෙල්ලන් හා මැඩියන් වැඩි වශයෙන් ලබා ගන්නා බවත්, ගැහැනු සතුන් අගල් කීපයක විෂ්කම්භයක් සහිත කොළ පැහැති බිත්තර 3 - 6 ත් අතර එක් අවස්ථාවක දී දමන අතර ගැහැනු සතුන් බිත්තර රැකීම සිදු නොකර පිරිමි සතුන් එම කාර්ය කරමින් දින 49 ක් 57 අතර පැටවුන් බිහි කරනු ලබන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවැසුවාය.



මෙම සතුන් ස්වභාවික කැලෑවල වසර 18 ත් 20 ත් අතර කාලයක් ජීවත් වන අතර, සත්වෝද්‍යාන තුළ සෞඛ්‍ය හා ආහාර පෝෂණ තත්ත්වය මත වසර 40 ක් පමණ ජීවත්වන අතර, දැනට මෙම සතුන් සත්ව ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂයක් ද වන බවත්, සතුන්ගේ ශරීර බර අනුව පියෑඹීමේ හැකියාවක් ද නොමැති බවත්, ශක්තිමත් ගාත්‍රා සතුරු ප්‍රහාර සඳහා යොදා ගනු ලබන බවත්, තද කළු සහිත පිහාටු පැවතීම නිසා අඳුරු කැලෑ තුළ වාසය කරමින් උවදුරුවලින් පහසුවෙන් බේරීමට ද හැකිවන බවත් අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
 එච්.එම්. ධර්මපාල