54-lakhs-fraud

රුපියල් ලක්ෂ පනස් හතරක් පමණ වටිනා මැණික් ගල් තුනක් අලෙවි කිරීමට ගෙනගිය පුද්ගලයකු මාදුරුඔය හේනානිගල ප්‍රදේශයේ දී නවතා රාජකාරි ගිනිඅවියෙන් අහසට වෙඩිතබා, බියගන්වා මැණික් ගල් තුන පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී කාර්යාල අඩවි ආරක්ෂකවරයකු, වනජීවී නියාමකවරුන් දෙදෙනකු ඇතුළු සිව්දෙනකු ගිනිඅවියක් සහ අමාංචුවක් සමග ඊයේ (23 වැනිදා) සවස අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.



සැකකරුවන් සතුව තිබූ පැහැරගත් මැණික් දෙකක් ද ඔවුන් භාවිතා කළ රිපීටර් වර්ගයේ ගිනි අවිය ද අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. මෙම සිද්ධිය ජුලි 7 වැනිදා රාත්‍රියේ සිදුව ඇති අතර ඒ පිළිබඳ පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව දුරකතන අංක උපයෝගී කරගනිමින් කරන ලද විමර්ශනයට අනුව වනජීවී නිලධාරීන් තිදෙනා සහ ඒ සඳහා ඔත්තු ලබාදුන් තවත් පුද්ගලයකු මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ද කොට්ඨාස විමර්ශන අංශය සඳහන් කරයි.

ලක්ෂ පනස් හතරක් වටිනා මැණික් ගල් තුන රැගෙන ආ පුද්ගලයාගෙන්,

කනිච්චියගල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු එය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අයෙකුට අලෙවි කිරීම සඳහා හේනානිගල මාර්ගය හරහා ගමන් කරමින් සිටිය දී වනජීවී නිලධාරීන් අහසට වෙඩි තබා ඔහු බියගන්වා මෙම මැණික් ගල් තුන පැහැරගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25ත් 40ත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් 24 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
නිමල් ජයරත්න