9-plastic-items-banned

බීම බට හා කලතන, ආහාර බහලුම්, ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු ඇතුළු ප්ලාස්ටික් අයිතම 09ක් තහනම් භාණ්ඩ ලෙස නම් කර ගැසට් කිරීමට පරිසර අමාත්‍ය නසීරි අහමඩ් මහතා පියවර ගෙන ඇත. මෙම භාණ්ඩ තහනම ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා පැවසීය.මෙසේ තහනම් කරන ලද භාණ්ඩ අතරට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පිහි, මල්මාලා ද ඇතුළත් වේ.



ආහාර බහලුම් ලෙස තහනම් කර ඇත්තේ ගුවන් ගමන්වලදී භාවිත කරන බහලුම් හැර සෙසු ඒවා බවද ජයසිංහ මහතා කීවේය. ඒ අනුව, මෙම ප්ලාස්ටික් අයිතම රට තුළ භාවිතය සඳහා නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර, තහනම කඩ කළහොත් ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවද පරිසර අමාත්‍යාංශය පවසයි.



ප්ලාස්ටික් මගින් සිදුවන අතිවිශාල පරිසර දූෂණය වැළැක්වීම ඒ ආශ්‍රිතව පැන නගින පාරිසරික ගැටලු අවම කර ජීවීන් ඇතුළු පරිසරය රැකගැනීමට පිටිවහලක් ලබාදීම මෙම තහනමේ ප්‍රමුඛ අරමුණ බවද අමාත්‍යාංශය සඳහන් කරයි. පරිසර හිතකාමී විකල්ප ආශ්‍රිත දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ද ප්ලාස්ටික් ආනයනයේදී විදේශ විනිමය අඩුකර ගැනීමට ද මින් පිටිවහලක් සැලසෙනු ඇතැයිද ජයසිංහ මහතා පැවසීය.

 මුදිතා දයානන්ද