Angoda-hospitals-computer-containing-cctv-footage-of-the-patient-being-assaulted-is-missing

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මානසික රෝගියෙකුට එම රෝහලේ සුළු සේවකයන් පිරිසක් පහර දී ඝාතනය කර ඇතැයි කියන සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් පරිගණකය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සතුව තිබියදී අතුරුදන්ව ඇති බව ඝාතනයට ලක්වූ රෝගියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊයේ (අගෝ. 24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත වෙත දැන්වූහ.



පරිගණකය අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය මෙම ඝාතනයේ සාක්ෂි යට ගැසීමක් දැයි සැකයක් පවතින බව ද නීතිඥවරු අධිකරණයට දැන්වූහ.



තව ද මෙම සිද්ධියට අදාළව පොලිස් භාරයට ගෙන තිබෙන සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් නඩු භාණ්ඩ මුල්ලේරියාව පොලිසිය මගින් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව ද නීතිඥවරු අධිකරණය හමුවේ පැවසූහ.

එම නඩුව අධිකරණය හමුවේ ඊයේ නැවත කැඳවූ අවස්ථාවේදී නීතිඥවරු මේ බව දැන්වූහ.

සිද්ධිය වූ දින අලුයම් කාලයේදී සැකකාර සේවකයන් පිරිස එම රෝගියාට පහරදී තුවාල සිදුකර ඇති නමුත් එදින රාත්‍රි 10.00 වන තෙක් ඔහුට රෝහලෙන් ප්‍රතිකාර ලබා දීමක් සිදුකර නොමැති බවට කරුණු හෙළි වන බව ද නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක්වූ කරුණුවලින් හෙළි විය.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට අමතරව එම පහර දීම සිදුවන අවස්ථාවේදී එම රෝහලේ තවත් සේවකයන් පිරිසක් එම ස්ථානයේ සිට ඇති බවත් එම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට නියෝගයක් ලබාදෙන ලෙස ද මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් හා පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් සිවුදෙනා සැප්තැම්බර් මස 7 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද නියෝග කළා ය.



උතුරු මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කේ.ඒ. ඉසුරු උෂාන්ත නයනජිත්, කළුතර දකුණ සොයිසා මාවත, හබගොඩ, පදිංචි 27 හැවිරිදි ආර්.ඒ. ඉශාන් දුලංජන සෙනෙවිරත්න, කලපලුවාව, රාජගිරිය පදිංචි 52 හැවිරිදි එම්.එල්. අශෝක පුෂ්පකුමාර, ගල්තුඩේ, පානදුර පදිංචි ඒ. නලින් ද සිල්වා යන සැකකරුවන් සිවුදෙනා එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සමනලතැන්න, වටරැක, පාදුක්ක ලිපිනයේ පදිංචි එම්.ඩබ්. ඔස්මි නානායක්කාර නමැති 48 හැවිරිදි පුද්ගලයෙකු මෙම සිද්ධියේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. එම සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තම රෝගියාගේ මියයෑ ම සැක සහිත බවට ඔහුගේ ඥාතීන් මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බව ද ඒ අනුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ශරීර අභ්‍යන්තරයේ සිදුව තිබෙන රුධිරය වහනයකින් මෙම මරණය සිදු වී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාව මගින් පෙන්වා දී ඇති බව ද පොලිසිය ඉකුත් නඩු වාරයේදී අධිකරණයට දන්වා තිබිණි.

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයාට කිසියම් පිරිසක් පහර දෙන අයුරු එම රෝහලේ සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී තිබූ බව ද ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගත් බව ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන මුල්ලේරියාව පොලිසිය හා නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට පෙන්වා දී තිබිණි.



අදාළ රෝගියා මානසික රෝගී තත්ත්වයක් සඳහා වරින් වර මෙම රෝහලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බැවින් නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇති බවට කරුණු හෙළි වූ බව ද පොලිසිය අධිකරණය හමුවේ දැක්වූ කරුණුවලින් හෙළි වී තිබිණි.

මෙම මරණය ඉකුත් 25 වන දින පෙරවරුවේ සිදුව ඇති අතර අදාළ රෝගියා විසින් සැකකාර පුද්ගලයන්ට වතුර ඉසීමක් නිසා මෙම පහර දීම සිදුව ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබේ.
(කුමුදු උපුල් ශාන්ත)