Attack-on-the-Vice-Chancellor-after-two-students-died-after-falling-into-a-pit-in-the-Vavuniya-University-grounds

වවුනියාව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති පාසල් එල්ලේ ක්‍රීඩා තරගයක් අතරතුර ළිඳකට වැටී සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියක් ඊයේ වාර්තාවූ අතර ඒ සම්බන්ධයෙන් කුපිතවූ ප්‍රදේශවාසීන් වෙතින් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ද ප්‍රහාරයක් එල්ල විය.‍
වව්නියාව ප්‍රාදේශීය මට්ටමේ පාසල් ක්‍රීඩා තරඟ බොම්බයිමඩු විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේ පසුගිය දින දෙකේ පැවැත්වෙමින් තිබූ අතර ඊයේ සවස මෙම සිද්ධිය වාර්තා විය.
ක්‍රීඩාංගණයේ එල්ලේ ක්‍රීඩා තරග පැවැති අවස්ථාවේදී සිසුන් දෙදෙනකු වැරදීමකින් පිටිය අසල තිබූ ළිඳකට වැටී ඇත.
සිසුන් ඇදවැටී සිටිනු දුටු අයකු රාජකාරියේ නියුතු ගුරුවරයාට දැනුම් දීමෙන් පසු පූවරංගුලම් පොලිසිය, විශේෂ ක්‍රියාකාරී බළකාය එම ස්ථානයට ගොස් විශ්වවිද්‍යාල සිසුන් සහ ගම්වාසීන් එක්ව අදාළ සිසුන් බේරාගෙන ඇත.

බේරාගත් සිසුන් දෙදෙනා වහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇතත් රෝහලට ඇතුළත් කිරීමට පෙර ඔවුන් මිය ගිය බව වෛද්‍යවරු පැවසූහ.



සිද්ධිය දැනගෙන විශ්වවිද්‍යාලයට ගිය වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති ආර්.මංගලේෂ්වරන්ට  එම අවස්ථාවේ කුපිතවූ ජනයා වෙතින් ප්‍රහාර එල්ල වී තිබේ. එම අවස්ථාවේදී එම ස්ථානයට විශ්වවිද්‍යාල සිසුන් එක්රැස්වීම හේතුවෙන් නොසන්සුන්තාව තීව්ර වූ බව වාර්තාවේ.
 අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්වීම විශ්ව විද්‍යාල බලධාරීන්ගේ නොසැලකිල්ල මත සිදුවූවක් බව කුපිතවූවන්ගේ තර්කය විය.

විශ්වවිද්‍යාල සිසුන් සහ නිලධාරීන් විසින් උපකුලපතිවරයා විශ්වවිද්‍යාලය වෙත කැදවාගෙන ගිය අතර ඔහු පූවරංගුලම් පොලිසියේ සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව යටතේ ඉන් පිටව ගියේය.

සිද්ධියෙන් වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි නියාස් අහමඩ් (14) සහ අසාඩ් මොහොමඩ් (15) නමැති සිසුහු දෙදෙනෙක්  ජීවිතක්ෂයට පත්ව සිටිති.
 
සිසුන් දෙදෙනා ළිඳට වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පූවරසන්කුලම් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.