ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ හිමාලයානු කලාපයේ නිතර ස්වාභාවික විපත් සම්බන්ධ පුවත් මවන තැනකි. මෙවර අසාමාන්‍ය ලෙස වර්ෂාපතනය වැඩිවීම නිසා වඩාත් අනතුරුදායක තත්වයක් මතුව තිබේ.
නායයෑම් සහ හදිසි ගංවතුර හේතුවෙන් මේ මාසයේ දැනටමත් ප්‍රදේශයේ බොහෝ ගනනක් ජනයා මිය ගොස් ඇති අතර, නිවාස සහ ගොඩනැගිලිද විනාශ වී ඇත. නේපාලයේ සහ පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට ද හානි සිදුව තිබේ.
නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ අතීතයේ වැඩි වශයෙන් හිම පතනය වූ හිමාලය ඇතුළු ලොව පුරා කඳු ආශ්‍රිතව දැන් වැඩි වර්ෂාපතනයක් දකින බවයි.
උෂ්ණත්වය ඉහළ යාම වර්ෂාව ගෙන ඒම මෙන්ම හිම සහ අයිස් දියවීම වේගවත් කරන බැවින් මෙම වෙනස කඳුකරය වඩාත් භයානක බවට පත් කර ඇති බව විද්‍යාඥයෝ පවසති. වැසි ජලය පස ලිහිල් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස නායයෑම්, ගල් පෙරළීම්, ගංවතුර සහ සුන්බුන් ගලා යාම දැකිය හැකි වෙයි.
" ජුනි මාසයේදී Nature සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, ඉහළ උන්නතාංශවල, විශේෂයෙන් උතුරු අර්ධගෝලයේ හිම ආධිපත්‍යය ඇති ප්‍රදේශවල උණුසුම ඉහළ යාම, වර්ෂාපතන වර්ධකයක් පෙන්නුම් කිරීමට හේතු වන බවට සාක්ෂි කිහිපයක් සපයයි."
මෙම සොයා ගැනීම 2019 දී දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) විශේෂ වාර්තාවකට අනුකූල වන අතර එහි සඳහන් වූයේ, විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල හිම පතනය අවම වීමට ඉහළ උෂ්ණත්වය හේතු වී ඇති බවයි.
ප්‍රංශයේ කාලගුණ විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සහ විශේෂ IPCC වාර්තාවේ කතුවරයෙකු වන සැමුවෙල් මොරින් පවසන්නේ ඉහළ උන්නතාංශවල පවා අධික වර්ෂාපතන සිදුවීම් දැන් සිදු වන බවයි.
මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. එම නිසා වර්ෂාපතනය හිම බවට පත් කරන, ශීත කිරීමේ මට්ටම වන ශුන්‍ය-අංශක අගය සමෝෂ්ණ රේඛාවේ ඉහළ උන්නතාංශයකට ගමන් කර ඇත.
"ප්‍රතිඵලයක් වශයෙන්, මෙම කඳුකර කලාප ආශ්‍රිත අධික වර්ෂාපතන නිසා ගංවතුර, නාය යෑම් සහ පාංශු ඛාදනය වැනි උපද්‍රවවලට ගොදුරු විය හැකි බව" යයි අධ්‍යයනය පවසයි.
උතුරු අර්ධගෝලයේ ඇල්ප්ස් සහ රොකී වැනි අනෙකුත් කඳුකර ප්‍රදේශ හා සසඳන විට හිමාලයානු කලාපයට මෙම අවදානම වැඩි බව අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන මොහොමඩ් ඔම්බඩි (Mohamed Ombadi) බීබීසීයට පැවසීය.
"එයට හේතුව වන්නේ සුලං රටා සහ කුණාටු මාර්ග වෙනස් කරන, කුණාටු වල තීව්‍රතාවය වැඩි වීමට තුඩු දෙන, උනුසුම හා සම්බන්ධ ක්‍රියාවලි [හිමාලයේ] පවතින බැවිනි."
ඉන්දියාව, භූතානය නේපාලය සහ පකිස්ථානය දක්වා විහිදෙන හිමාල කඳුකරයේ කාලගුණ මධ්‍යස්ථාන නොමැති තරම් වන අතර, වර්ෂාපතන මට්ටම් පිළිබඳ නිවැරදි දත්ත නොමැති වීමට බොහෝ විට මෙය හේතු වී ඇත.
කඳුකරයේ පහළ උන්නතාංශවල ස්ථාන කිහිපයක් පිහිටා ඇති නමුත් ඒවාට පතිත වන වර්ෂාපතනය, වර්ෂාව හෝ හිම පතනය දැයි හදුනා ගැනීම අපහසු වී ඇත.
කෙසේ වෙතත්, එවරස්ට් කඳු මුදුනේ ස්ථාපිත මූලික කාලගුණ මධ්‍යස්ථානයක් පෙන්නුම් කළේ, මේ වසරේ ජුනි 1 සිට අගෝස්තු 10 දක්වා කාලය තුළ කඳුකරයට මිලිමීටර් 245.5 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. 75% ක් වර්ෂාව ලෙස වැටී ඇති අතර ඉතිරිය හිම පතනය වේ.
හිම පතනය අඩු වීම සහ වර්ෂාපතනය වැඩිවීම නිසා කලාපයේ ගංගාවල ස්වභාවය වෙනස් වී ඇති බව කුමවුන් (Kumaun) විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය JS Rawat පවසයි.
හිමාලයේ ග්ලැසියර දියවීම වේගවත් වීමේ ගැටලුවට , උෂ්ණත්වය ඉහළ යාම හේතු වී ඇත.
මෙය ග්ලැසියර විල් වේගයෙන් පිරවීමට හේතු වන අතර එය පිටාර ගැලීම් සහ ගංවතුර ඇති වීමට බලපායි. ග්ලැසියර තුනී වීම කඳු බෑවුම් ද අස්ථාවර කරයි.
පාරිසරික වශයෙන් සංවේදී කලාපයේ මාර්ග, උමං මාර්ග සහ ජල විදුලි ව්‍යාපෘති වැනි යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම ද මෙම ව්‍යසනවලට තුඩු දෙන බව විශේෂඥයෝ පවසති. හිමාලය භූ කම්පන කලාපයක පිහිටා ඇති අතර , භූමිකම්පාවලට ගොදුරු වීම තුළින් තත්වය වඩාත් නරක අතට හැරී ඇත.
වර්ෂාපතනය වැඩිවීමේ බලපෑම ඉන්දීය දේශසීමාව හරහා ද දක්නට ලැබේ.
උතුරු පකිස්ථානයේ, හිමාලයට කරකෝරම් සහ හින්දුකුෂ් කඳු මුණගැසෙන ස්ථානයේ, සුන්බුන් ගලායාම සහ හදිසි ගංවතුර වැඩි වැඩියෙන් සුලභ වී ඇති බව බලධාරීහු පවසති.
නේපාලයේ ඇති නැඟෙනහිර හිමාල කඳුකරයේ, හදිසි ගංවතුර සහ සුන්බුන් ගලායාම දේශීය ජනාවාස, මාර්ග සහ පාලම් හැරුණු විට ජල විදුලිය සහ පානීය ජල බලාගාර වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලටද බලපෑම් ඇති කරයි.
විශේෂඥයන් පවසන්නේ හිමාල කඳුකරයේ , කඳු කඩා වැටීමේ සිදුවීම් ද නිතර නිතර හා තීව්‍ර වෙමින් පවතින බවයි.
0 Comments