Moratuwa-University-student-steal--phone-fell-from-dormitory-died

හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු නේවාසිකයේ තෙවැනි මහලෙන් වැටී හදිසියේ මියයාම හා ඒ සම්බන්ධිත ජංගම දුරකථන සොරකමක් ආශ්‍රිත සිද්ධිය ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි විකුම් ප්‍රභාෂ්වර විතානාරච්චි නමැති 24 හැවිරිදි සිසුවෙකි.

මේ සිසුවා බාහිර පුද්ගලයකු සමඟ නේවාසිකාගාරයේ කාමරයක රැඳී සිට ඇති බවත් පසුගිය 17 වනදා රාත්‍රියේ ඔහු සමඟ නේවාසිකාගාරයෙන් බැහැරට ගොස් රාත්‍රී එකට පමණ යළි කාමරයට පැමිණීමෙන් අනතුරුව දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව එතැනට තවත් සිසුන් දෙදෙනකු කාමරයට ගිය අවස්ථාවේ සිද්ධිය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත‍ි බවත් වාර්තාවී තිබේ. එම අවස්ථාවේදී තවත් සිසුන් පිරිසක් කාමරයට පැමිණ එය සමථයකට පත් කිරීමට යෑමේදී මිය ගිය සිසුවා කාමරයේ ජනේලයෙන් බිමට වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙය දිවි නසාගැනීමක්ද නැතිනම් කිසිවෙකු තල්ලු කර සිදුවූවාද යන්න තවම පැහැදිලි නැත.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ සිසුන් පිරිස අතර විවාදය හටගෙන ඇත්තේ ෆොන් හොරකමක් සම්බන්ධ සිද්ධියකි. තමන්ගේම වසරේ සිසුවෙකුට අයත් වටිනා ජංගම දුරකථනයක් සොරාගැනීම නිසා මෙම මියගිය සිසුවා ආසන්න කාලයේ පොලිසියට අවශ්‍යවී සිටි සැකකරුවෙකි. සිසුවාගේ සමගාමී වසරේ මිතුරෙකුට අයත් රුපියල් තුන් ලක්ෂ අසූ දහසක් වටිනා ජංගම දුරකථනය සොරාගත් බවට සැකකරන මියගිය අයට එහි අගුළු ඇරීමට හා විකුණාගන්නට සහය දුන් අනෙක් සිසුවා මේවනවිටත් අත්අඩංගුවේ පසුවන නමුත් මියගිය සිසුවා කට්ටි පනිමින් සිටි බව කියැවිණි.


මරණය සිදුවූ දිනයට පෙරදිනයේ කහතුඩුව පොලිසියෙන් වාර්තාවූයේ මෙකී සොරකමට සම්බන්ධ සිසුන් දෙදෙනකුගෙන් එක් සිසුවකු අත්අඩංගුවට ගත් බවයි.
එසේ අත්අඩංගුවට ගෙන තිබුනේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙකි .
ජංගම දුරකථනය අස්ථානගතවී ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලකට අනුව නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා තිබූ අතර ජංගම දුරකථනය යළි අලෙවි කිරීම සඳහා මුහුණු පොතෙහි දැන්වීමක් පළකර තිබෙනු දැක ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වද්දී එය අලෙවි කරන්නට දැමූ සරසවියට බාහිර පුද්ගලයෙකු ගැන තොරතුරු අනාවරණයවී තිබුණි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන යන තමාට සරසවි සිසුවෙකු දුරකථනය ගෙනවිත් දුන් බවත් රුපියල් 165,000 මුදලකට තමා එය මිලටගත් බවත් පවසා තිබුණි. කොමියුනිකේෂන් එකට මෙම දුරකථනය ගෙනවිත් දීතිබූ තාක්ෂණ පීඨ දෙවන වසරේ සිසුවා ඒ අනුව පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී
සොරකම සිදු කළ මියගිය සිසුවා තමාට එය ලබාදුන් බවත් එය ලොක් එක ඇර දෙන්න ක්‍රමයක් විමසා උදව් කරන්න යයි කි බවත් පවසා තිබුණි. දුරකතනයේ මුරපදය ඉවත් කළ සරසවි සිසුවා පසුව එය අලෙවි කර දෙන්නටද එකඟවී ඇත.


 ජංගම දුරකථනය සොරාගැනීමේ සිද්ධියේ තොරතුරු අනාවරණය කරගත්තත් ප්‍රධාන සැකකරු කොටු කරගන්නට පොලිසියට එක්වරම නොහැකි විය.
ප්‍රධාන සැකකරු ඒ වන විට සරසවියෙන් පිටතට නොපැමිණ සැඟව සිටින බවට පොලිසියට තොරතුරු ලැබුණත් සොයාගැනීමට අපහසුවී තිබුණි.
නේවාසිකාගාරයේ ගැටුම හා සිසුවා තෙවැනි මහලෙන් පහළට වැටෙන්නේ මෙම සිදුවීම අතරවාරයේය.
මියගිය සිසුවා මීට පෙර සරසවිය තුළ සිදු වූ නවක වදය සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවකුට පහර දීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවකු බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබූ බව පොලිසිය කියයි.

මරණය සම්බන්ධයෙන් ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ ස්ථානෟය පරීක්ෂණයක් කිරීමට නියමිතව තිබූ අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.