Murder-suspect-made-3,292-phone-calls-in-21-days-in-jail

වව්නියාව, තෝනිකල් ප්‍රදේශයේ නිවෙසක පැවැති උපන් දින සාදයක් අතරතුර එම නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් 9 දෙනකු තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන සැකකරු විවිධ පුද්ගලයන්ට ජංගම දුරකතනයකින් දින 21 ක් තුළ ඇමතුම් 3,292 ක් ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.



කෝටිපති ව්‍යාපාරිකයකු වන මෙම සැකකරු ඉකුත් අගෝස්තු මස 02 වැනිදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ ඇති අතර, ඔහු එදින සිට ඉකුත් 23 දින දක්වා මෙම ඇමැතුම් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වව්නියාව මහේස්ත්‍රාත් අහමඩ් රහීම් මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ (24) මේ බව දැනුම් දී ඇත. මෙම සැකකරු බන්ධනාගාරයේ සිට එම ජංගම දුරකතනයෙන් සාක්ෂිකරුවන්ට පවා ඇමතුම් දී ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට කළ දැනුම් දීමකට අනුව බන්ධනාගාර නිලධාරීන් සැකකරු රැඳී සිටි කුටිය පෙරේදා (23) රාත්‍රියේ පරීක්ෂා කර මෙම ජංගම දුරකතනය අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.



සැකකරු මෙම කාලය තුළ ඔහුගේ බිරියට, අනියම් බිරියට, සාක්ෂිකරුවන් ඇතුළු පුද්ගලයන් රැසකට ඇමැතුම් ගෙන ඇති බවත්, අනියම් බිරිය ඇතුළු කිහිප දෙනකුට පැය එකහමාරක් පමණ කාලයක් පුරා කතා කළ ඇමැතුම් 39 ක් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන බව එම ආරංචි මාර්ග පවසයි. බන්ධනාගාරගතව සිටින පුද්ගලයකු බන්ධනාගරයේ සිට මේ ආකාරයෙන් ඇමතුම් ගෙන ඇත්තේ කෙසේද සහ මේ සඳහා සැකකරුට බන්ධනාගරයෙන් කිසිවකුගෙන් සහායක් ලැබී ඇති ද යන්න සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.



මෙම නඩුව වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (24) කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක කේ.එම්. ඉක්බාල් මහතා මේ පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් තිදෙනකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අධිකරණයෙන් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම ඝාතන සිද්ධියේ සැකකරුවන් භාවිත කළ යතුරුපැදි, කෲ කැබ්, ටිපර් ඇතුළු වාහන 6 ක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. මෙම සිද්ධියේ සැකකරුවන් ලබන 7 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඉන්දිකා රාමනායක