Sanjeevani-is-killed-by-her-second-husband-at-the-Bandarawela-lodge

ණ්ඩාරවෙල නගරයේ ලැගුම්හලක කාමරයක ඇඳක් මත තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනයවූ කාන්තාවකගේ සිරුරක් හමුවූයේ පෙරේදා සවසයි. බැලු බැල්මට මෙය අනියම් ඇසුරක් මත සිදුවූ ඝාතනයක් ලෙස සැක මතුවූයේ ඝාතනයෙන් පසු එහි සිටි පුරුෂයා පලායාම නිසාය. නමුත් මෙය පවුල් ආරවුලක් මතසිද්ධ වූ ඝාතනයක් බවට සැකකළ හැකි කරුණු දැන් අනාවරණයවී තිබේ.

මෙලෙස මියගිය සංජීවනී තුෂාරිකා ද සිල්වා (40) තිදරු මවක වූ අතර ඇගේ දෙවන හා තුන්වන දරුවන්ගේ පියා හෙවත් දෙවන සැමියා මෙම ඝාතනය සිදුකළ සැකකරු බවට දැන් අනුමාන කෙරේ.විවාහක සැමියා ළැගුම් හලක සිටියදී බිරිය ඒ වෙත පැමිණීම සිදුවන්නේ සැමියා පැමිණ දිනකට පසුවයි. ඒ ඔහුගේ ‘හොරයක්‘ අල්ලන්නටදැයි සැකයක් මතුව තිබේ.

ඇටම්පිටිය කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සංජීවනී තුෂාරිකා ද සිල්වා (40) නැමති තිදරු මවක් මෙසේ ඇයගේ දෙවන විවාහයේ සැමියා විසින් ඝාතනය කර ඇති බව පොලිසිය කීය.

මේ කාන්තාව මීට පෙර විවාහ වී අවුරුදු 20ක දියණියක සිටින බවත්,

පසුව එම විවාහයෙන් අනතුරුව මැය කැලණිය ගෝනමල්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ විවාහ වී දරුවන් දෙදෙනකු සිටින බවත් පොලිසිය පැවසීය.

ඇය එම දෙවන විවාහයෙන් පසුව සැමියා, දරුවන් දෙදෙනා සමඟ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත්, පසුව එම නි‍වසේ සිටීමට නොහැකි බව පවසා මැය දරුවන් සමඟ ඇටම්පිටිය කැන්දගොල්ල නි‍වසට පැමිණ ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

මේ ඝාතනය කළ බව කියන ඇගේ දෙවන විවාහයේ සැමියා පසුගියදා (23) දහවල් 12.00ට පමණ බණ්ඩාරවෙල නගරයේ පිහිටි මේ ලැගුම්හලට පැමිණ කාමරයක් කුලියට ගෙන නතර වී සිට ඇති අතර, පසුදින (24) උදෑසන 8.00ට පමණ මේ කාන්තාව එම ලැගුම්හලට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

සිය බිරිය පැමිණි බව මොහු ලැගුම්හලේ සේවකයන්ට පවසා ඇති බවත් කාමරයේ සිටි මේ යුවළ පසුව බණ්ඩාරවෙල නගරයට ගොස් යළි පෙරවරු 11.00ට පමණ කාමරයට පැමිණ සිට ඇති බවත් පොලිසිය පැවසීය. එසේ සිටියදී පෙරේදා (24) පස්වරු 4.00ට පමණ පමණ මොහු නෝනාට කෑම එකක් ගේන්න යන බව කියා ලැගුම්හලේ සේවකයන්ටත් කියා කලබලයෙන් ලැගුම්හලෙන් පිටවී ගොස් ඇති අතර, මත්පැන් පානය කර එම ගඳ වහනය වීම නිසාවෙන් ලැගුම්හලේ සේවකයකුට සැකසිතී ඔවුන් නැවතී සිටි කාමරයට ගොස් බැලීමේදී කාමරයේ දොර බාගෙට විවෘත කර කාමරයේ ඇඳ මත බෙඩ්ෂීට් එකකින් ඔතා දමා ලේ ගොඩක් මත තිබූ මළසිරුර දැක පොලිසියට දැනුම් දුන් බවද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

කාමරයෙන් කෘමිනාශක ගඳක් වහනය වෙමින් තිබූ බවත්,

වමනය ද තිබී ඇති අතර, සැමියා විසින් ලියා තිබූ බව කියන ලිපියක් කාන්තාවගේ මළ සිරුර තිබූ ඇඳ මත තිබිණැයි පොලිසිය පැවසීය .

සැකකරු කාන්තාවගේ ගෙල ප්‍රදේශයට සහ උදරයට පිහියකින් ඇන කපා කොටා දමා තිබූ බවත්, ඝාතනයට යොදා ගත් පිහිය එම ලැගුම්හලේ කාමරයේ ඇඳ යට තිබියදී සොයාගත් බවත් පොලිසිය කීය.

බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් ‘ලයිගා‘ පොලිස් නිල සුනඛයාගේ සහාය මත පෙරේදා (24) පස්වරුවේ පරීක්ෂණ කළ අතර, සැකකරු ලැගුහලේ කාමරයේදී කාන්තාව ඝාතනය කර පසුව බණ්ඩාරවෙල නගරයේ බස්රථ නැවතුම්පොළ දෙසින් දුම්රිය ස්ථානය දෙසට ගොස් ඇති බවට පොලිස් නිල සුනඛ ‘ලයිගා‘ මාර්ගයෙන් අනාවරණය කර ගැනීමට හැකිවිණැයි පොලිසිය පවසයි.

සැකකරු දුම්රියේ නැඟ පලායන්නට ඇතැයි පොලිසිය සැක කරයි.කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සැකකරු සොයන්නට පොලිසිය මේවනවිට මහජන සහය ඉල්ලා ඇති අතර ඡායාරූප ප්‍රසිද්ධ කර තිබේ.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ. ජීවරානි මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර දියතලාව රෝහලට යවා  ඇත.

 බණ්ඩාරවෙල පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.