Street-food-vendors-in-Kimbula-are-in-a-precarious-situation

බත්තරමුල්ල කිඹුලාවල ප්‍රදේශය කියන්නෙ වීදි ආහාර රසවිඳින්නන්ට  ඕනෑම දිනක සවස් කාලයේ ඇවිද යා හැකි ප්‍රාදේශයක්. මෙය බොහෝ විට බාබකියු කළ සහ ග්‍රිල් කළ මස්වල සිට හොට් ඩෝග්, බර්ගර්, පානි පූරි, ජූස් බාර් දක්වා විවිධ ක්ෂණික ආහාර ද්‍රව්‍ය අලෙවි කරන , කුටි 40 කට අධික ප්‍රමාණයක් ඇති  රාත්‍රියේදී ක්‍රියාකාරී ස්ථානයකි.

 COVID ආරම්භයේ දී, බොහෝ පුද්ගලයින්ට නිවසේ සිට වැඩ කිරීමට සිදු වූ අතර, වැඩි වේලාවක් ගෘහස්ථව සිටීමට නොහැකි වූවන්, සවස් වරුවේ තම වාහනවලින් විවිධ භාණ්ඩ විකිණීම වැනි 'අතුරු ක්‍රියා' වලට යොමු විය. කිඹුලාවල ධාවන පථයට යාබදව තාවකාලික ආපනශාලා ආරම්භ කිරීමේ   ප්‍රවණතාවය මේත් සමග ආරම්භ වී ඇත.

එහෙත් වැඩි කාලයක් යන්නට මත්තෙන් ඒ අවට නිසි වාහන නැවැත්වීමේ පහසුකම් නොමැති නිසා, ඒ හරහා ගමන් කරන්නන් තම වාහන ආපනශාලා අසළ නතර කොට වෙළෙන්දන්ගෙන් මිල ගණන් සාකච්ඡා කිරීමට හෝ මිලදී ගැනීමට පුරුදු විය. මෙම පුරුද්ද නිසා මෙම මාර්ගය ඔස්සේ දැඩි රථවාහන තදබදයක් ඇති විය. ප්‍රදේශවාසීන් පවසන්නේ සිකුරාදා දිනවලදී බොහෝ මිනිසුන් කටගැස්ම සඳහා ආහාර ගැනීමට මෙහි ඇදී එන බැවින් වාහන තදබදය නරක අතට හැරෙන බවයි. මේ වසරේ පෙබරවාරි මාසයේදී මේ කාරණය පාර්ලිමේන්තුවේදී මතු වූ අවස්ථාවේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මාර්ග සලකුණු කිරීමට සහ මගීන්ගේ සහ වාහනවල ආරක්ෂාව තහවුරු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි. සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල ක්‍රියාත්මක වූ කඩ සාප්පු දැන් දින හතේම ක්‍රියාත්මක වන්නේ අවට ව්‍යාපාරිකයන්ට ද බාධා පමුණුවමිනි.




දින 14ක් ඇතුළත එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) දින කිහිපයකට පෙර වෙළෙඳුන්ට නැවත වරක් නොතීසි නිකුත් කළේය. නමුත් මෙය බලධාරීන් විසින් ගනු ලබන අසාධාරණ තීරණයක් බව වෙළෙන්දෝ කියා සිටිති. ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් විකුණුම්කරුවන් කිහිප දෙනෙකු ඔවුන්ගේ අදහස් මෙලෙස බෙදා හදා ගත්හ.



ඩේලි මිරර් පුවත්පත්  සංචාරයේදී  නිරීක්ෂණය කළේ සමහර කුටි අනෙක් ඒවාට සාපේක්ෂව විශාල ඉඩක් ලබාගෙන ඇති බවයි. සුපුන් වසන්ත කුමාරට ක්ෂණික ආහාර අලෙවි කරන ආපන ශාලාවක් තිබේ. COVID ආරම්භයේ දී මෙම ස්ථානයේ වෙළඳ කුටියක් ආරම්භ කිරීමට පෙර ඔහු සංචාරක කර්මාන්තයේ සේවය කර ඇත. පසුගිය වසර හතරක කාලය තුළ කුමාර සහ ඔහුගේ පවුලේ අයට තම වෙළඳ කුටිය පවත්වාගෙන යාමේ කිසිදු ගැටලුවක් නොතිබුණද, ඔවුන්ගේ කුටිය පාරේ වැඩි ඉඩක් ලබාගෙන ඇති බවට ඇතැම් පුද්ගලයන් පැමිණිලි කිරීමත් සමඟ ගැටලු ඇති වීම ආරම්භ වී තිබේ.

"අපට මෙම ව්‍යාපාර සදාකාලිකව කරගෙන යාමට අවශ්‍ය නෑ, රටේ ආර්ථික කැලඹිලි යථා තත්ත්වයට පත් වූ පසු, අපට අපගේ පෙර රැකියාවට යා හැකියි," ඔහු ඩේලි මිරර් වෙත පැවසීය. "RDA විසින් මුලදී මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලද අතර එම මායිම් කළ ප්‍රදේශය තුළ තමයි අපගේ වෙළඳ කුටි පිහිටා තියෙන්නෙ. කඩ ඉවත් කරන ලෙස අපෙන් ඉල්ලා සිටියත් ඒ සදහා  විකල්ප ඉඩක් තවමත් ලබා දී නැහැ. පරිසරයට බාධාවක් නොවන පරිදි ඇළ අයිනේ කඩ කාමර පවා දාන්න අපි යෝජනා කළා. අපගේ එකම ඉල්ලීම වන්නේ මෙම ස්ථානයේ මෙම කුටි දිගටම පවත්වාගෙන යාමට ඉඩ දෙන ලෙසයි. බොහෝ අය මෙහි පැමිණෙන්නේ වීදි ආහාර රස විඳීමට සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පස්සෙ විවේක ගන්න. නමුත් බලධාරීන් හිතාමතාම අපට දින ලබා දීමක් කරල තියෙනවා. මගේ කුටියේ මිනිසුන් 10-15 ක් පමණ වැඩ කරන අතර අඩු ආදායම්ලාභී පවුල් සඳහා අපි රැකියා ලබා දීලා තියෙනවා. මේ කඩ කිසිවක් ස්ථිරව තබාගෙන නැහැ. සියල්ල තාවකාලික කූඩාරම් වන අතර ඒවා කිසිවක් සිමෙන්තිවලින් සාදා නෑ. නමුත් බලධාරීන් හිතන්නෙ අපි සදහටම මෙහි රැඳී සිටිනව කියලා. මේ සියලුම කුටි ක්‍රියාත්මක වෙන්නෙ සවස 3.00 න් පස්සෙ. කඩවලින් නාමික ගාස්තුවක් ලබාගෙන, මෙම ස්ථානයේ මෙහෙයුම් නියාමනය කිරීමට නිලධාරියෙකු හෝ කමිටුවක් පත් කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් අපි කියන දේ අහන්න ඔවුන් සූදානම් නැහැ” යැයි කුමාර මැසිවිලි නැගුවේය.




“පවුල් 500කට වැඩි ප්‍රමාණයක් මේ වීදි ආහාර මාර්ගයෙන් යැපෙනවා. මෙහි වැඩ කරන බොහෝ දෙනෙකුගේ එකම ආදායම් මාර්ගය මෙය වන අතර ඔවුන් තම පවුල පෝෂණය කිරීමට මේ හරහා මුදල් උපයා ගනී. ” - සඳමාලි

 සුජීවා සඳමාලි දෙදරු මවක් වන අතර ඇය කිඹුලාවල වීදි කෑම කඩයේ පළතුරු බීම වෙළෙන්දෙකු ලෙස ජීවිකාව ගෙන යයි. වෙනත් බොහෝ වෙළෙන්දන් එකතු වීමට පෙර සිට එනම් 2017 සිට ඇය මෙම පළතුරු බීම කුටිය පවත්වාගෙන යයි.  "අපි මෙහි ව්‍යාපාර කිරීම නීති විරෝධී විය හැකි නමුත්, බලධාරීන් අප කෙරෙහි තව ටිකක් සංවේදී විය යුතුයි,"  “පවුල් 500කට වැඩි ප්‍රමාණයක් මේ වීදි ආහාර මාර්ගයෙන් යැපෙනවා. මෙහි වැඩ කරන බොහෝ දෙනෙකුගේ එකම ආදායම් මාර්ගය විය හැකි අතර ඔවුන් තම පවුල පෝෂණය කිරීම සඳහා මේ හරහා මුදල් උපයා ගන්නවා. මෙම පවුල්වලට කුඩා දරුවන්, වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයන්  ඇතුළත් වෙනවා. මෙම මාර්ගයේ නිතර අනතුරු සිදුවන බවත් සවස් වන විට දැඩි වාහන තදබදයක් පවතින බවත් ප්‍රකාශ කරල තියෙනවා. නමුත් මේවා නොමඟ යවන ප්‍රකාශ," යැයි ඇය පැවසුවාය. පලතුරු වල මිල තරමක් අධිකයි. ඒ නිසා ලාභයක් නැතිව අපි ව්‍යාපාරයක් කරනවා.” යැයි පැවසූ සඳමාලි - සීනි, ලුණු සහ අනෙකුත් ද්‍රව්‍යවල මිල අනුව පළතුරු බීම සඳහා ස්ථාවර මිලක් තීරණය කිරීමත් දුෂ්කර බවත් වැඩිදුරටත් පැවසුවාය.  


අලෙවි කරන අවස්ථාවේදී තම භාණ්ඩ රැගෙන එන ලෙසත් අලෙවිය අවසන් වූ පසු රැගෙන යන ලෙසත් බලධාරීන් වෙළෙන්දන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් එය බොහෝ වෙළෙන්දන් විසින් සිදු කළේ නැහැ - සුරංග

සූපශාස්ත්‍ර උපකරණ තාවකාලික කූඩාරම් තුළට ගෙන ගිය බොහෝ වෙළෙන්දන් හැරුණු විට, සවස් වරුවේ පැමිණ, තම වාහනවල පිටුපස සිට තම භාණ්ඩ විකුණා, දවසේ අලෙවිය අවසන් වූ පසු පිටව යන අයද සිටිති. ඩී.ජී.සුරංග ඉන් එක් අයෙකි. COVID වලට පෙර ඇඟලුම් සමාගමක රැකියාවක නිරත වූ සුරංග දැන් ජීවත්වීම සඳහා කිඹුලාවල ක්‍රීඩා ඇඳුම් සහ ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරයි. බලධාරීන් විසින් ලබා දී ඇති නියෝග පිළිබඳව සුරංගගෙන් විමසූ විට පැවසුවේ බොහෝ වෙළෙන්දන් බලධාරීන් විසින් පනවා ඇති නීති රීති පිළිපදින්නේ නැති බවයි. “ඒ නිසා දැන් එයාලට යන්න කියනවා. අලෙවි කරන අවස්ථාවේදී තම භාණ්ඩ රැගෙන එන ලෙසත් අලෙවිය අවසන් වූ පසු රැගෙන යන ලෙසත් බලධාරීන් වෙළෙන්දන්ගෙන් ඉල්ලා සිටියා. ඒත් ඒක හැම වෙළෙන්දෙක්ම පුරුදක් විදිහට  කළේ නැහැ” සුරංග පැවසීය.




පාරට නෙරා ඇති කඩ කිහිපයක් තියෙනවා. ඒ නිසා ඒ වෙළෙන්දන් දැනගත යුතුයි වාහන ගමනාගමනයට බාධාවක් නැතිව තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න. හැබැයි කඩ දෙකක් නිසා කඩ 43ම අයින් කරන එක සාධාරණ නැහැ, - රොමේෂ්

ඩේලි මිරර් පුවත්පත ඔහුට මුණගැසෙන විට ප්‍රසන්න රොමේෂ් බඩ ඉරිඟු විකණමින්  සිටියේය. ඔහු කිඹුලාවල මුල් වෙළෙන්දන්ගෙන් කෙනෙකි. කෙසේ වෙතත් ඔවුන්ගේ වෙළෙඳ කුටි ඉවත් කිරීමට ගත් තීරණය සාධාරණ නොවන බව ඔහු පවසයි. “අවම වශයෙන් එවැනි ඉල්ලීමක් කිරීමට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු අතර එවැනි අවස්ථාවක අපට විකල්ප ස්ථානයක් ලබා දිය යුතුයි.   මුලදී මෙහි සිටියේ වෙළෙන්දන් කිහිප දෙනෙකු පමණක් වන නමුත් පසු කාලීනව වෙළඳ කුටි ගණන සහ ඒවායේ කූඩාරම් ප්‍රමාණය පුළුල් වුණා. අලෙවිය අවසන් වූ පසු මෙම කූඩාරම් ඉවත් කිරීමට බලධාරීන්ට අවසර දිය හැකි නම් එය වඩා සාධාරණ තීරණයක් යැයි මම සිතනවා. පාරේ මේ පැත්තේ වාහන නතර කරන්නෙ නෑ; ඒ නිසා වාහන තදබදයක්  නෑ. පාරට නෙරා ඇති කඩ කිහිපයක් තියෙනවා. ඒ නිසා ඒ වෙළෙන්දන් දැනගත යුතුයි වාහන ගමනාගමනයට බාධාවක් නැතිව තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න. හැබැයි කඩ දෙකක් නිසා කඩ 43ම අයින් කරන එක සාධාරණ නැහැ” රොමේෂ් පැවසීය.

S. මනෝජ් කිමිදුම්කරුවෙකු ලෙස කටයුතු කළ නමුත් දැනට කිඹුලාවල ආනයනික පාවහන් අලෙවි කිරීමේ නිරතව සිටී. “මම මේ ව්‍යාපාරය පටන් අරන් මාසයක් වෙනවා. බලධාරීන් විසින් නිකුත් කර ඇති නියෝග පිළිබඳව අදහස් දක්වමින් මනෝජ් කියා සිටියේ ඇතැම් විට දක්නට ලැබෙන අධික වාහන තදබදය හේතුවෙන් මෙම කඩ ඉවත් කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටින බවයි. “භාණ්ඩයක් මිල දී ගැනීමට එක් වාහනයක් නැවැත්වූ විට එමගින්  ගමනාගමනයට බාධා ඇති කරනවා. අපිට පාර අයිති නැති නිසා අපි මොකද කරන්නේ කියලා තීරණය කරන්න බැහැ. පොදු ප්‍රදේශයක් නම් අපේ ව්‍යාපාර කරගෙන යන්න තිබුණා” මනෝජ් පැවසීය.
 
කෙසේ වෙතත්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්වී එස් වීරකෝන් මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ කඩ සාප්පු හිමියන් ප්‍රධාන මාර්ගයේ මෙම කඩ පවත්වාගෙන යන බවයි. “මෙම පුද්ගලයින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හා අවට ව්‍යාපාරවලට බාධා කරන බවත්, ඇතැම් වෙළඳ කුටි අපිරිසිදු බවත් කිඹුලාවල අවට නිවැසියන් පැමිණිලි කරලා තියෙනවා. ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දින 14කට නොතීසි නිකුත් කර ඇති අතර ඉන් පසුව අපි අධිකරණයට යනවා. නමුත් තවම අවසන් තීරණයක් නැහැ,” යැයි ඔහු පැවසූ අතර, මෙම වෙළෙඳ කුටි හේතුවෙන් සිකුරාදා දිනවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

වීරකෝන් වෙළෙන්දන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඔවුන් වෙළඳ කුටි සඳහා මුදල් ගෙවීමට කැමති වුවහොත් , බලධාරීන්ට විකල්ප ස්ථානයක් සෙවීමට සිදුවන බවයි.

කමන්ති වික්‍රමසිංහ
(ඩේලි මිරර් පුවත්පතට ලියූ ලිපිය ඇසුරිනි)