The-Moratuwa-student-first-in-the-district-died-due-to-stress

ඊයේ (19) කිලිනොච්චිය  විවේකානන්දනගර් ප්‍රදේශයේ නිවසක බාල්කයක එල්ලී  22 හැවිරිදි සරසවි සිසුවෙකු දිවි හානි කරගැනීමේ සිදුවීමක් වාර්තාවන අතර මියගිය සිසුවා  2020 වසරේ උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වූ අයෙකු බවද වාර්තා විය.
උසස් පෙළ සමත්වීමෙන් පසු මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට කොළඹට ගිය ඔහු නැවත නිවාඩු කාලයේ කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි තම නිවසට පැමිණ නිවස තුළදී ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්වී තිබෙයි.
ඊයේ (19) පොලිසියට ලැබුණ ඇමතුමක් අනුව පරීක්ෂා කිරීමේදී සිසුවා නිවස තුළ ගෙළ වැළලාගෙන සිටියදී හමුවී තිබුණ අතර ඒ වනවිටත් මියගොස් සිටි බව පොලිසිය වාර්තා කළේය.



 මෙම සිසුවාගේ දෙමව්පියන් දෙදෙනාම ගුරුවරුන් වන අතර පුද්ගලික ගැටලුවක් මත පැවති සිත් තැවුලක් හේතුවෙන් ඔහු සියදිවි නසාගන්නට ඇති බවට සැක කෙරෙයි. නමුත් ඔහු ඒ ගැන සටහනක් හෝ තබා ගොස් නැති අතර නිශ්චිත හේතුවක් මෙතක් නිල වශයෙන් අනාවරණ කළ නොහැකි බව පොලිසිය දන්වා තිබේ.

ගණිත අංශයෙන් උසස් පෙළ ඉහළින්ම සමත්වූ ඔහු දිස්ත්‍රික් ප්‍රථමයා බවට පත්වූ පසු ඔහුගේ පාසලින්ද ඉහළ පිළිගැනීමේ උත්සව පවා සංවිධානය කර තිබුණි.
දෙමාපියන් පවසා ඇත්තේ දරුවාට විශාදය ලක්ෂණ තිබූ බවයි.ඔහු විශාදය සඳහා වෛද්‍ය උපදෙස් ද ලබාගෙන ඇත.


මේ වසරේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම දුෂ්කර බවත් ලබන වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරගෙන යාම නතර කිරීමට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි. එයට දෙමාපියන් අකමැත්ත පළ කර තිබූ අතර
මේ තත්ත්වය තුළ ඔහු සිය නිවසේදී සියදිවි හානිකරගෙන ඇත.
 වැරදි තීරණයක් ගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධිය තමන්ගේ මහත් කම්පනයට හේතුවූ බව දෙමාපියන් දන්වා තිබේ. ඔහුට ඉතා වටිනා අනාගතයක් තමන් සිහින මැවූ නමුත් අනපේක්ෂිත වියෝවෙන් ඒ සියල්ල අහිමිව ඇතැයි ඔවුන් කඳුලින් යුතුව පවසා තිබේ.
මෙලෙස මියගියේ චන්ද්‍රමෝහන් තේනුජන් නමැති 22 හැවිරිදි සරසවි සිසුවෙකි.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී තිබෙයි.