Vijitha-Thera-head-of-Dhamma-Sarana-Temple-in-Melbourne-is-in-court-for-13-charges-of-child-abuse

ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති විජිත නාඔටුන්නේ හිමියන් ළමා අපචාර ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී බදාදා එරට අධිකරණය හමුවේ පෙනී සිටි බව ඕස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.


68 හැවිරිදි වියේ පසුවන හිමියන් මීට වසර ගණනාවකට පෙර 1996 සිට 2004 දක්වා කාලය තුළ ස්ප්‍රිංවේල් සහ කීස්බරෝ හි විහාරස්ථානවල රැඳී සිටි කාලයන්හිදී තමන්ට මුණගැසුණු ළමා වින්දිතයින් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට පොලිසිය චෝදනා කර තිබේ.
වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු ලිංගිකව අපයෝජනය කිරීම සහ 16 ට අඩු දරුවෙකු ඉදිරියේ අශෝභන ලෙස හැසිරීම ඇතුළු වැරදි 13 ක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුවී තිබේ.


බදාදා ලිංගික අපරාධ මර්දන ඒකකයේ රහස් පරීක්ෂකයින්ගේ චෝදනා එල්ලවූ මෙම හිමියන්  1993 දී ඕස්ට්‍රේලියාවට පැමිණ ස්ප්‍රින්ග්වේල් විහාරස්ථානයක නේවාසික භික්ෂුවක් ලෙස සේවය කර ඇති අතර 2001 දී කීස්බරෝ විහාරස්ථානයට වැඩම කළ බව ධම්ම සරණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ළමුන් 300කට අධික සංඛ්‍යාවක් සහභාගී වන "ඉතා සාර්ථක ඉරිදා පාසලක්" පවත්වාගෙන ගිය විජිත නාඔටුන්නේ හිමියන්  මෙම අපචාර සිදුකරන්නට ඇත්තේ එකී දහම් පාසල් දරුවන්ට බව කියැවේ.
"දරුවන් සමඟ ඔහුගේ මිත්‍රත්වය" සුවිශේෂ එකක් වූ බවද හිමියන් ගැන වාර්තාවේ සඳහන්ය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ නිකායක් වන රාමඤ්ඤ නිකායේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවියද දරමින් සිටින්නේ මෙම හිමියන් වීම අපකීර්තියට හේතුවකි.
බදාදා නඩු විභාගයේදී ඇප මත නිදහස් කිරීමෙන් පසු උසාවියෙන් පිටව යන විට සිය සිවුර  කබායකින් වසාගෙන ගමන් කළ හිමියන් නොවැම්බර් 10 වැනි දින නඩුව සඳහා නැවත පැමිණෙනු ඇත.