අහංගම ප්‍රසිද්ධ සංචාරක හෝටලයක විලා එකකට කඩා වැදී එහි රැඳී සිටි එංගලන්ත ජාතික යුවළකට කඩුවක් පෙන්වා බිය ගන්වමින් ඔවුන් සතුව තිබු මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළා ගිය තිදෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් අත්අඩංගුවට ගැනීමට අහංගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.



මෙරට සංචාරයකට පැමිණ සිටි එම එංගලන්ත යුවළ කොල්ලකා ඇත්තේ පෙරේදා (22) අලුයම් කාලයේදී බව පොලිසිය කියයි.

ස්ටර්ලිං පවුම් 20ක්, රන් භාණ්ඩ සහ රුපියල් 40,000ක මුදලක් එංගලන්ත ජාතික යුවළගෙන් කොල්ලකා ඇතැයි එම හෝටලයේ පිළිගැනීමේ කළමනාකරු විසින් පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත.

“අපට සමා වෙන්න. අපේ දරුවෙක් තදබල අසනීපයකින් ඉන්නේ. බෙහෙත් ගන්න ලොකු මුදලක් වැය වෙනවා. ඒ නිසයි මෙහෙම කරන්න වෙලා තියෙන්නේ.” යැයි එක් කොල්ලකරුවෙක් ඉංග්‍රීසි භාෂාවෙන් එංගලන්ත යුවළට පවසා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ කොල්ල කල්ලිය හඳුනා ගැනීමට ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවක් සිදු කරන බවත්, ඒ ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ