susil-speaks-2023-al-ol

දැනට උගන්වන තොරතුරු තාක්ෂණ විෂය ක්‍රමයෙන් විකාශය වී කෘත්‍රිම බුද්ධි විෂය පාසල් අධ්‍යාපනයට එකතු වීම, 6-9 සහ 10–13 වශයෙන් වට දෙකක දී ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.



සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍ර තුනට ම අදාළ ව මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක් ව දැනට ම විධිමත් වැඩසටහන් තුනක් සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

වසර අටක ක්‍රියාවලියක් සිව් වසරකින් නිම කරන බවද අමාත්‍යවරයා මෙහි දී පැවසුවේය. මීට සමගාමී ව ගුරුවරුන් පුහුණු කළ යුතු බවත්,

කලාප 85ක පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථානවල හා ඉතිරි කලාප 15 සඳහා ද නව පරිගණක සම්පත් මධ්‍යස්ථාන පිහිටුවා ගුරු පුහුණුවීම් ආරම්භ කරන බවත්, ඊට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් අවහිරතාවකින් තොර ව පවත්වාගෙන යෑම සඳහා ෆයිබර් ඔප්ටික් සබඳතා ලබාගන්නා බවත් අමාත්‍යාවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

පැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමප්‍රධාන තේමාව වූයේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවට පත් කිරීම බවත්, ඊට අනුගත ව 2030 වන විට මෙරට අධ්‍යාපනය ද සකස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ සැසිවාරයක දී අදහස් දක්වමිනි.



ඒ අනුව පවත්නා අන්තර්ජාල පහසුකම් හා මහින්දෝදය පරිගණක විද්‍යාගාරවල පරිගණක උපාංග ආදිය යාවත්කාලීන කිරීමෙන් මෙන් ම අමතර වශයෙන් ප්‍රමුඛ පාසල් කිහිපයකට ම ෆයිබර් ඔප්ටික් සහිත අන්තර්ජාල පහසුකම් සපයා, කලාප මට්ටමින් සුළු අලුත්වැඩියා කණ්ඩායම් සකසා, මෙම ඩිජිටල්කරණ අධ්‍යාපන ක්‍රියාවලිය ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ද හෙතෙම පැවසීය.
- නවෝද්‍යා පවනි