kandy-alawathugoda-woman-murder

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරු යායක මඩ වගුරක ඔබා තිබූ කාන්තාවකගේ මළසිරුරක් මීට මාස5 කට පමණ පෙර පසුගිය මාර්තු මස සොයාගෙන තිබුණි.
මෙලෙස මියගොස් තිබුණේ  26 හැවිරිදි දනූකා මධුවන්ති නමැත්තියකි. ඇය රූමත් විවාහක කාන්තාවකි. සැමියා සමග ඇය ජීවත්වූ නිවසට ආසන්න වෙල්යායක මඩේ ඔබා තිබී ඇයගේ සිරුර හමුවූ අතර


ඇයත් සැමියාත් සුළු පරිමාණයේ සිල්ලර කඩයක් පවත්වාගෙන ගොස් තිබුණි. සිද්ධිය වූ දින මාර්තු 10 දා රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළඳසැළ වසා දමා අවමගුල් උත්සවයකට සහභාගී වන බව පවසා පිටව ගොස් නැවත අලුයම 2 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ ඇය නොසිටි බව කියමින් සැමියා පොලිසියට පැමිණිලි කර තිබුණි.
මෙම කාන්තාවට අසල්වැසි මනමාලකම් කරන හමුදා සෙබළා සැමියා නිවසෙහි නැති අතරේ කාන්තාව සිටි නිවසට ගොස් කිසියම් අතවරයක් කර එය සැඟවීමට ඇයගේ සිරුර වෙලේ ඔබන්නට ඇතැයි සැකයක් පහළවී එකී පුද්ගලයාවද පොලිස් අත්අඩංගුවට පත්විය.
මෙලෙස මියගිය තරුණිය විවාහවී වසර 5 ක් පමණ වන අතර දරුවන් සිටියේ නැත. ඇය පස්දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා බව කියැවිණි.පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී මේ සැමියා හා ඇය අතර අඩදබර සිදුවූ බව අනාවරණයවී ඇත.
සැමියා ඇය අතුරුදන් බව කියූ අලුයම් කාලයේදී ඔවුන් දෙදෙනා පදිංචි නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණු බවට ප්‍රදේශවාසීන් පොලීසියට පවසා තිබුණි. මියගිය තරුණිය සහ ඇයගේ සැමියා අතර පවුල් ආරවුල් වලට බෙහෙවින් හේතුවී ඇත්තේ සැමියාගේ බීමත් කම බව පොලීසිය ප්‍රකාශ කර තිබුණි.
හමුවූ මළ සිරුරේ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අනුව ඇය දූෂණයට ලක්ව නොතිබූ අතර පොලිසිය සැමියා ගැන ඇතිවූ සැකසහිත කාරණා අනුව ඝාතනය සැමියා කරන්නට ඇතැයිද මනමාල සෙබළාට සැකය ඇතිවන ආකාරයට සිරුර සඟවන්නට ඇතැයිද අනුමාන කර තිබේ. ඒ අනුව සැමියා දැන් අත්අඩංගුවට පත්ව ඇත. පෙරේදා (22දා) අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 27 හැවිරිදි සැකකාර සැමියා අලවතුගොඩ, ඇල්ලේකඩේ පදිංචිකරුවෙකි.



මෙම ඝාතනය සම්බන්ධයෙන් ලබාගත් ඉව ඔස්සේ නිල සුනඛයෙකු ගමන් කළ නිවසක සිටි විවාහක පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය මියගිය කාන්තාවගේ සැමියා සම්බන්ධයෙන් ඇතිව තිබූ සැකයක් මත දීර්ඝ ලෙස විමර්ශනය සිදුකර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව තිබූ කාන්තාවගේ සිරුරේ ඇදුම් ඉවත් කර වෙල මැද මඩ ගොහොරුවක ඔබා තිබූ අතර එම සිරුර දකින ඕනෑම කෙනෙකු සිතන්නේ ඇය දූෂණය කොට මරා දමන්නට ඇති බවයි. එසේ වුවත් මේ සම්බන්ධයෙන් කරනු ලැබූ ඩී.එන්.ඒ සහ රස පරීක්ෂක වාර්තා අනුව ඇය දූෂණයට ලක්ව නොමැති බව අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

මෙලෙස ඇගේ ඇඳුම් ඉවත් කරන්නට ඇත්තේ පරීක්ෂණ නොමග යවන්නට බවත් පොලීසියේ සැකයට හේතුවී තිබේ. මෙයට අමතරව සිද්ධිය වූ දින අසල වු මළ ගෙයකට ගිය බව කියන මෙම සැකකරු පැයක පමණ කාලයක් අතුරුදන්ව සිට ඇති බවත්, නිවසේ කුස්සියේ විදුලි බුබුළ නිවැරැදි ස්ථානය සොයා නිවා දමා තිබීමත් නිවසේ හදා ගන්නා සුනඛයා කිසිදු බිරීමක් සිදුකර නොතිබීමත් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර නිවෙසේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි වෙලක මඩ ගොහොරුවක ඔබා තිබීමත් ඇතුළු කාරණා රැසක්ම සැකකරු ගැන සැක කිරීමට හේතුවී තිබේ.

සිද්ධිය වූ දින රාත්‍රියේ නිවසේ සිට මීටර් කිහිපයක දුරින් ඔහු විසින් පවත්වාගෙන යනු ලබන වෙළද සැල වසා දමා ත්‍රිරෝද රථයකින් නිවසට ගොස් ඇති බවද අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.



පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ සිට මේ දක්වා ඔහුගේ හැසිරීම් රටාවේ නිරීක්ෂණය වූ වෙනස්කම් ද ඔහුව සැක කිරීමට හේතු වී තිබේ.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ලලිත් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහත්වරුන්ගේ උපදෙස් සහ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. ගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතා සමග අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපාලි කරුණාවංශ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



kandy-alawathugoda-woman-death