aluthgama-statue
චක්‍රවර්ති රජ කෙනෙක්ගේ ධනය මුළු ලොව පුරා තිබුණ ද, එය යම් දිනක නැසී වැනසී යා හැකි බවත් ලොව ඇති සියලු සාගර ජලය කිසියම් මිම්මකින් මැන අවසන් කළ හැකි බවත් සම්බුද්ධ දේශනාවේ සඳහන් වේ. එහෙත් මේ කියන්නට යන මහත්ඵල මහානිසංස සහිත පින්කම පිළිබඳ අනාවරණය වූයේ අලුත්ගමිනි. ඒ බුදුපිළිම ඉදිකර පූජා කිරීමේ ආනිසංස සහිත පින්කමකි. මෙවැනි උසස් කුසල සම්භාරයකට උරුමකම් කියන පින්වතා මුණගැසුණේ අලුත්ගම - මැදගම උභයවාපිකාරාමයේ දීය. ඒ හෙතෙම සිය දියණියන් තිදෙනා නමින් මෙරට ඉදිකරන දෙවන බුදු පිළිමය සම්බුද්ධ ශාසනයට පූජා කරමින්ය.




මේ සම්බුද්ධ ප්‍රතිමාව ඉදිකෙරුණේ ඓතිහාසික රයිගම් රාජධානියේය. එය පහතරට තෙත් කලාපයට අයත් වුවද අනුරපුර පොළොන්නරු ප්‍රදේශවල ඇති දියුණු වාරි ශිෂ්ටාචාරයට සමාන වාරි ශිෂ්ටාචාරයක් උරුම වී ඇත්තේය. මෙම ප්‍රදේශය වැව් හයකින් සමන්විතය. ඒ උයන්වත්තේ වැවලවල්ගම, වැවලවෑවිට වැව, ගම්මන්පිල වැව, අලුත්ගමකුදු වැව සහ පන්සල් වැවය. අලුත්ගම - මැදගම උභයවාපිකාරාමය පිහිටා ඇත්තේ මේ වැව් දෙකක් මැදි කර ගෙනය.

අලුත්ගම - මැදගම උභයවාපිකාරාම විහාර-ස්ථානයේ විහාරාධිපති මැදගම සුමනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇමරිකාවේ නාසා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන අශෝක දිසානායකගේ ධන පරිත්‍යාගයෙන් මෙම පිළිම වහන්සේ ඉදිකර ඇත්තේය.



ඔහුගේ ජීවිත කතාව ඇතුළේ හද සසල කළ කතාවක් තිබුණේය. මාතර උපන් අශෝක දිසානායක සහ මැදගම උපන් උපුල් දිසානායක දෙපළ බොහෝ කලක සිට පදිංචිව සිටියේ ඇමරිකාවේය. මේ දෙපළට දාව දියණියන්ම තිදෙනකු වූහ. සිය බිරිඳ කලක පටන් රෝගාතුරව සිටි නිසාවෙන් දේශීය වෛද්‍ය ක්‍රමවලින් සුවපත් කරගැනීම සඳහා ඇයව ලංකාවට ද රැගෙන ආවාය. කෙසේ නමුත් සිය ස්වාමියාව සහ දරු තිදෙනාව මෙලොව තනිකර දමා කොරෝනා සමයේ දී ඇය මොලොවින් සමුගත්තාය.

වියෝ දුක දරා ගැනීමට නොහැකිවූ තැන අශෝක කළේ සිය බිරිය වෙනුවෙන් පින් දහම් කිරීමය. ඒ වෙනුවෙන් ඔහු අවුකන සම්බුද්ධ ප්‍රතිමා තුනක් සාදවා සම්බුදු සසුනට පූජා කිරීමට තීන්දු කළේය. පළමු අවුකන ප්‍රතිමාව ඉදි කළේ ඔහු උපන් මාතර බෙංගමුවේය. එය සසුනට පූජා කළේ සිය පළමු දියණියගේ උපන් දිනයදාය. දෙවැන්න ඉදිකළේ සිය බිරිඳ උපන් අලුත්ගම - මැදගම ගම්මානයේය.

එය සසුනට පූජා කළේ සිය දෙවෙනි දියණියගේ උපන් දිනයදාය. තෙවැන්න සිය බිරිඳ පළමු ගුරු පත්වීම ගෙන සේවය කළ කිතුල්ගල ගම්මානයේ ය. මේ දිනවල එය ඉදිවෙන්නේ තෙවැනි දියණියගේ උපන් දිනය වෙනුවෙන් සසුනට පූජා කිරීම සඳහාය.
ඉන්දික සංජීව විතාන - හොරණ