එල්ටීටීඊ සංවිධානය අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල අහිංසක නිරායුධ මුස්ලිම් වැසියන් දෙසිය විසිඑක් දෙනෙකු කපාකොටා සමූල ඝාතනය කර 11 දාට වසර 33ක් පිරිම නිමිත්තෙන් , අම්පාර සහා මඩකලපුව දිස්ත්‍රික්කවල නගර කීපයකම වෙළෙදසැල් වසා
කළුකොඩි ඔසවා නගරවාසීහූ ඊයේ විරෝධතාව පළ කළහ.අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, අඩ්ඩාලච්චේන, නින්දවූර්, සමන්තුරේ, සයින්දමරුදු හා කල්මුණේ යන මුස්ලිම් නගරවල වෙළෙඳසල් හිමියන් ඔවුන්ගේ වෙළඳසැල් සම්පූර්ණයෙන් වසා දමා වෙළඳසල් ඉදිරිපිට සහ බස් නැවතුම් පොළවල්වල කළුකොඩි ඔසවා තිබෙනු දක්නට ලැබිණි. මඩකළපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන, එරාවුර්, ඔට්ටමාවඩි, කාත්තන්කුඩි යන නගරවලද වෙළෙඳසල් වසා කළුකොඩි ඔසවා තිබෙනු දැකගත හැකිවිය. එල්ටීටීඊ සංවිධානය මීට වසර 33 කට ඉහතදීතම සාමාජිකයන් දෙසිය විසිඑක් දෙනෙකු කුරිරු ලෙස කපාකොටා ඝාතනය කිරීම සිහිපත් කිරීමත්,
එල්ටීටීඊ හිතවාදීන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට මෙන්ම කැනඩාව ඇතුළු අනෙකුත් මානව හිමිකම් සංවිධානවලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විවිධ අඩත්තේට්ටම් සිදු කළ බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කර ඔවුන් කළ සාහසික ඝාතන වසන් කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළකිරීමත් වෙනුවෙන් මෙම විරෝධතාව පැවැත්වෙන බව මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවල වෙළෙඳසල් හිමියෝ සඳහන් කළහ.
මනම්පිටිය නිමල් ජයරත්න
0 Comments