athurugiriya-love-case

අතුරුගිරිය සීලාලංකාර මාවත ප්‍රදේශයේ දී පුද්ගලයකුට කඩුවකින් කොටා අතක් සහ පාදයක් වෙන් වන්නට කපා දමා පලාගොස් සිටි සැකකරුවකු විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සමගින් පෙරේදා (20) කපුරුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධ ප්‍රනාන්දු මහතාට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු ලබා දුන් තොරතුරු මත අදාළ පහරදීමට සම්බන්ධ කඩුව හබරකඩ ප්‍රදේශයේ සඟවා තිබිය දී සොයා ගැනීමට ද පොලිසිය ට හැකිවී ඇත.



ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හබරකඩ කසුන් නමැත්තාගේ මිතුරකුගේ බිරිඳක සමග තුවාලකරු අනියම් සම්බන්ධයක් ඇති බැවින් එයට පළිගැනීමක් ලෙස මෙලෙස හබරකඩ කසුන් නමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම පහරදීම සිදු කර ඇති බවත් ඒ වෙනුවෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් සහ රුපියල් හතළිස් දහසක මුදලක් ලබා දී ඇතැයි ද අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම මුල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 22 හැවිරිදි පුද්ගලයකු වන බවත් සැකකරු රැකියාව ලෙස කුලී වැඩවල නිරතව ඇතැයි ද අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.



අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධ ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල්, පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ පොලිස් සැරයන් (36709) සුකුමාරන්, පොලිස් කොස්තාපල්වරුන් වන (84898) හර්ෂ, (928) සුසන්ත, (91695) ප්‍රසාද්, (34143) සඳරුවන්, (43172) රවිදු, (92523) ප්‍රියංකර යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

 කඩුවෙල කේ. බුද්ධික කුමාරසිරි.