awun-san-suki

හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත්අඩංගුවට ගනු ලැබූ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීට මියන්මාර මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. අවුන් සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් 2021 වසරේ නෙරපා හැරීමෙන් පසුව නිවාස අඩස්සියට පත් වූවාය.

බෞද්ධ වස් කාලය වෙනුවෙන් සිරකරුවන් 7,000ක පමණ පිරිසකට පොදු සමාව ලබා දීමට මිලිටරි ජුන්ටාව තීරණය කර ඇති බවත් ඒ යටතේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීට ද සමාව ලබා දී ඇති බවත් මියන්මාර මාධ්‍ය පෙන්වා දී ඇත.

එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්කයි පුවත් සේවය පෙන්වා දෙන්නේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීට මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇත්තේ චෝදනා 5 ක් සඳහා පමණක් බවයි. චෝදනා 5 ක් සඳහා සමාව ලබා දුන්නත් ඇයට එරෙහිව තවත් චෝදනා 14ක් තිබෙන බව ස්කයි පුවත් සේවය වාර්තා කර ඇත. වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුව ඇය රජයේ වෙනත් ගොඩනැගිල්ලක් කරා පෙරේදා (31) රැගෙන ගිය බවත් චෝදනා 5ක් සඳහා පොදු සමාව ලබා දුන්න ද ඇය තවදුරටත් නිවාස අඩස්සියේ සිටිනු ඇති බවත් ආරංචිමාර්ග පෙන්වා දී ඇතැයි ස්කයි පුවත් සේවය සඳහන් කර ඇත.

විමුක්ති එස්. රුද්‍රිගු