bandarawela-murder-husband-found

බණ්ඩාරවෙල නගරයේ හෝටල් කාමරයක් තුළදී සිය බිරිඳ ඝාතනය කර පළා ගොස් සිටි 50 හැවිරිදි සැකකරු
සොයා ගැනීම සඳහා පොලිසිය මහජන  සහයද ඉල්ලා තිබූ පසුබිමක ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නට පැමිණ සිටියදි සෙනසුරාදා අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ.
පොලීසිය පැවසුවේ ඔහු වස පානය කළ බව පවසමින් රෝහල්ගතව තිබූ බවත් ඔහු පළායන්නට උත්සාහයක නොයෙදුණ බවත්ය.


කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වූ ඔහු 23 දා සවස බණ්ඩාරවෙල නගරයේ තන්තිරිය ප්‍රදේශයේ හෝටල් කාමරයක නවාතැන් ගෙන තිබූ අතර, ඊට පසු දින සිය බිරිඳව ද ඔහු එම හෝටල් කාමරයට ගෙන්වා ගෙන තිබුණි.
කෙසේ වෙතත් බිරිඳ පැමිණි දිනයේ පස්වරුවේ එම පුද්ගලයා හෝටල් කාමරයෙන් පිටව ගොස් තිබුනේ අසාමාන්‍ය ආකාරයටය.
සැකසිතු හෝටල් සේවකයෙකු කාමරය පරික්ෂා කිරීමේදී දැක තිබුණේ එහි සිටි කාන්තාව ඝාතනය කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලදි ඝාතනයට පෙර ඔහු ලියා තිබූ ලිපියක්ද හමුවූ අතර බිරිය ඝාතනය කර තමන්ද දිවි නසාගන්නා බව ඔහු එහි පවසා තිබුනි.


මියගිය කාන්තාවගේ දෙවන විවාහයේ සැමියා බව කියන මෙම පුද්ගලයාත් එම කාන්තාවත් විවාහයෙන් පසු දරු දෙන්නෙකුගේ මාපියන්ව සිටි අතර කිසියම් පවුලේ ආරවුලක් මත බාහිර ස්ථානයකදී මෙම ඝාතනය සිදු කර තිබුණි.
පළා ගිය මෙම පුද්ගලයා සොයා පොලීසිය පරික්ෂණ ආරම්භ කළ අතර මහජන සහය ඉල්ලා ඡායාරූපද ප්‍රසිද්ධ කර තිබියදී පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි සෙනසුරාදා සවස අත්අඩංගුවට පත්විය.
වෛද්‍යවරුන් පැවසුවේ නිශ්චිතවම වස පානය කර ඇද්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
 පොලීසිය භාරයේ රෝහලේ සිටින එම පුද්ගලයා පරීක්ෂණ සඳහා බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතයි.

සිද්ධියට අදාළ පෙර විස්තරය
බණ්ඩාරවෙල ළැගුම්හලේදී සංජීවනී ඝාතනය වන්නේ දෙවන සැමියා අතින්