හොලිවුඩයේ නවතම සිනමාපටයක් වන Barbie කුවේටය තුළ ප්‍රදර්ශනය තහනම් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, Barbie සිනමාපටය වාරණයට ලක් වූ ආසන්නතම රට ලෙසටද එය සැලකෙයි. මීට පෙර වියෙට්නාමයද එම සිනමාපටය ප්‍රදර්ශනය තහනම් කළේය.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කුවේටයේ සිනමාපට වාරණ කමිටුවේ සභාපතිවරයා වන ලිෆි අල්-සුඛේයි,

"අපගේ සමාජ වටිනාකම් විනාශ කරන පිළිගත නොහැකි හැසිරීම් ප්‍රචලිත කිරීමේ අදහස් සහිතවීම නිසා මෙම තීරණය ගත්තා.” යනුවෙන් පවසා ඇත.

විශේෂයෙන්ම, මෙම සිනමාපටය තුළ ඇතුළත්ව ඇති සමරිසි හැසිරීම් ප්‍රවර්ධනය කිරීමේ අදහස මෙලෙස කුවේටය තුළ එම සිනමාපටය ප්‍රදර්ශනය තහනම් කිරීමට හේතුව ලෙස සැලකෙයි. මීට අමතරව ලෙබනනයද ඊයේ මෙම තීරණයම ගත් බව පැවසුණි.