battaramulla-etaya-arrested

අධිකරණ හා හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශයේ සිරකරු අයිතිවාසිකම් කොමිසමේ සාමාජිකාවකගේ රාජගිරියේ කලපළුවාව ජය මාවතේ දෙමහල් නිවෙසට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා දේපළ සොරාගත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් දෙදෙනා මීට පෙරද අපරාධ කිහිපයකට සම්බන්ධ “කහන්තොට පොඩ්ඩා” සහ “බත්තරමුල්ලේ ඇටයා" යන ආරූඪ නම් වලින් හඳුන් වන්නන් බව පොලිසිය කියයි.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී එලෙස සොරාගෙන තිබූ මුතු, මැණික්, රන් ආභරණ, ඉස්තරම් වර්ගයේ පිගන් භාණ්ඩ, ඇමෙරිකානු සමාගමක් මගින් නිෂ්පාදනය කරන ලද දියමන්ති ගල් අල්ලන ලද රන් පෙන්ඩනයක්, ජපානයෙන් ඉතා අධික මුදලකට මිලදී ගත් බව කියන පෘථිවියේ නොමැති වෙනත් ග්‍රහලෝකයකට අයත් පාෂාණ විශේෂයක් පොලිස් බාරයට ගෙන ඇත.



ඇය විසින් ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබූ අතර, එමඟින් නිසි විමර්ශනයක් සිදු නොවූ බව පවසමින් බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත යොමුකර තිබිණි. ඒ සම්බන්ධයෙන් කඩිනමින් සිදුකළ විමර්ශනයේදී සොරකමට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිස් සැරයන් (38723) රංජිත් නිලධාරියාට ලද රහසිගත තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී රාජගිරිය, කලපළුවාව, මණ්ඩාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.



ඉකුත් මස 28 වැනිදා සිට මෙම මස 8 වැනිදා දක්වා නිවසේ කිසිවෙකු සිට නැති අතර එම කාලයේදී දෙදෙනා ත්‍රිරෝද රථයකින් එම නිවෙස අසලට ගොස් නිවෙසේ පිටුපස ජනේලයේ සුළං කවුළුවෙන් ඇතුළු වී ඉහළ මහලේ කාමර දෙකක අල්මාරිවල දමා තිබූ මෙම භාණ්ඩ සොරාගත් බව  ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි. සැකකරුවන් එම නිවෙසට දින 3 ක් අවස්ථා තුනකදී ගොස් එම දේපළ සොරාගෙන ඒවා අතුරුගිරිය, තලංගම හා රාජගිරිය ප්‍රදේශවල දස දෙනෙකුට පමණ අඩු මුදලකට විකුණා තිබියදී පොලිසිය සොයා ගත්තේය. සොරාගත් එම දේපළවලින් කොටසක් සැකකරුවන්ගේ නිවෙස්වල තිබී පොලිසිය මඟින් සොයා ගැනිණි. සැකකරුවෝ දෙදෙනා වයස අවුරුදු 25 හා 30 අතර පසුවන්නෝ වෙති.
බිමල් ශශ්‍යාමන් ජයසිංහ