ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ලොව අන්තරායට ලක් වූ ලෝක උරුම ස්ථානයක් ලෙස ලැයිස්තුගත කළ නොහැකි බව යුනෙස්කෝ සංවිධානයේ විද්‍යාත්මක උපදේශක කමිටුව නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි. මෙම මහා බාධක කොරල් පරය යුනෙස්කෝවේ ලෝක උරුමයක් ලෙස නම් කෙරී තිබේ.

පසුගියදා රැස්වුණු එම කමිටුව මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත්, ලොව විශාලතම කොරල් පරය ලෙස සැලකෙන කිලෝමීටර් 2,300ක දුරක් පැතිරී ඇති මෙම මහාබාධක කොරල් පරය ගෝලීය උණුසුම සහ සාගර දූෂණය හේතුවෙන් තවදුරටත් දරුණු තර්ජනයට ලක්ව තිබෙන බවත් එම කමිටුව මෙහිදී සදහන් කර ඇත.


2022 නොවැම්බර් මාසයේදී යුනෙස්කෝව මගින්ම මෙම ස්ථානය අන්තරාවට ලක්වූ ස්ථානයක් ලෙස නම් කළ යුතු බව සඳහන් කළේය. ගෝලීය උණුසුමේ ඉහළ යාමත් සමග එහි කොරල්පර විරංජනයට ලක්වීම ඊට හේතුව ලෙස සදහන් විය. එසේම මේ ආශ්‍රිත සංචාරක කර්මාන්තයද එම කොරල්පර පද්ධතියට හානිදායක බව සදහන්විය.



ඒ අනුව, යුනෙස්කෝ සංවිධානයේ මෙම කමිටුව ලබාදුන් එම තීරණය ඔස්ට්‍රේලියාවට සහ එරට සංචාරක කර්මාන්තය වෙත මහත් අස්වැසිල්ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විශේෂයෙන්ම, මෙම මහා බාධක කොරල්පරය තර්ජනයට ලක්වූ ලෝක උරුම ස්ථානයක් ලෙස සදහන්වීමත් සමග ඒ ආශ්‍රිත සංචාරක කර්මාන්තයට එය බලපෑම් එල්ල කළේය. මෙම තත්ත්වය මගහැරවීම සදහා ඔස්ට්‍රේලියානු රජය සහ සංචාරක සමාගම් දැඩි ප්‍රයත්නයක් ගත්තේය.

වාර්තා සදහන්කරන ආකාරයට මෙම මහා බාධක කොරල්පරය ඔස්ට්‍රේලියානු ආර්ථිකය වෙත ඩොලර් බිලියන 4කට වැඩි දායකත්වයක් ලබාදෙයි. ඒ හරහා උත්පාදනය වී ඇති රැකියා ප්‍රමාණය 64,000කට අධිකය.

COVID-19 වසංගතයට පෙරාතුව සෑම වසරකදීම සංචාරකයන් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් මෙම මහාබාධක කොරල්පරය නැරඹීමට පැමිණ තිබේ.

මේ අතර මහා බාධක කොරල් පරයේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති යුනෙස්කෝ සංවිධානය ලබන වසරේ පෙබරවාරි මාසයට පෙරාතුව එම මහා බාධක කොරල්පරය ආරක්ෂා කරගැනීමේ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇති බවත්, ඒ අනුව 2024 වසරේදී යළිත් මෙම 'අනතුරට ලක් වූ' ලැයිස්තුවට එය ඇතුළත් කරන්නේද යන්න සලකා බැලෙන බවත් පවසා ඇත.