හරක් කටාගේ ගෝලයකු යැයි පවසමින් දුරකතනයෙන් තර්ජනය කර බිය ගන්වා ඇඟළුම් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත්තේ යැයි පැවසෙන පුද්ගලයකු ලබන දාහත් වන දින දක්වා කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (07) නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජිලාඩ් නහුෆර් නැමැත්තාය.



පැමිණිලිකාර ඇඟලුම් ව්‍යාපාරිකයාගේ දුරකථන අංකයට වරින්වර පටිගත කරන ලද ඇමතුමක් මගින් තමන් හරක් කටාගේ ගෝලයකු බවත් පැමිණිලිකරුගේ පුතාගේ විස්තර තමන්ට ලැබී ඇති බවත් පවසමින් තර්ජනය කරමින් රුපියල් ලක්ෂ දහයක් ඉල්ලා සිටි බවත් ඉන් රුපියල් ලක්ෂයක් වරින්වර සැකකරු ලබාදෙන ලද ගිණුම් කිහිපයකටම පැමිණිලිකරු විසින් බැර කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.



දුරකතන හා බැංකු වාර්තා පරීක්ෂාවට ලක් කොට සැකකරු පසුගිය 6 වන දින අත්අඩංගුවට ගත් බවත් සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටා නොහොත් නඳුන් චින්තක යන අය සමඟ සැකකරු සම්බන්ධතාවක් පවත්වා ගෙන යන්නේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කිරීමට ඇති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටත් සංවිධානාත්මක අපරාධ අංශයේ නිලධාරීහු අධිකරණය වෙත දැන්වීය. සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ගීත්ම ප්‍රනාන්දු සහ අජිත් නන්ද කුමාර යන මහත්වරුන් පෙනී සිටිය අතර නැවත මෙම නඩුව අගෝස්තු මස 17 වන දින කැඳවීමට නියමිතය.
දිලංගා ගෝමස්