balapitiya-incident

මෙම වසරේ ජුනි 01වැනිදා වනවිට රක්‍ෂිත බන්ධනාගාර සහ බන්ධනාගාරගත කර සිටින සියලු ආගම්වලට අයත් පූජකවරුන් සංඛ්‍යාව 56ක් බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.



වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා 08දා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඒ අනුව සිරකරුවන් ලෙස සිටින පූජකවරුන් බෞද්ධ 29ක්, හින්දු 03ක්, ඉස්ලාමීය 02ක් සිටින අතර, සැකකරුවන් ලෙස සිටින පූජකවරුන් බෞද්ධ 19යි, කතෝලික 01, ඉස්ලාම් 01 අයෙකු සිටින බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම අභියාචනා ඉදිරිපත් කළ ඉස්ලාමීය පූජකයෙකුද ඒ අතර වේ.



ඒ එකතුව ලෙස බෞද්ධ සිරකරුවන් ලෙස 48ක්, හින්දු සිරකරුවන් 03ක්, කතෝලික සිරකරුවන් 01ක්, ඉස්ලාම් ආගමික පූජකවරුන් 04 දෙනෙක් සිටිති.

2023 ජුනි 01වැනිදා වනවිට බන්ධනාගාරගතව සිටින පූජකවරුන් සඳහා චෝදනා අනුව පහත පරිදි වේ.

ළමා අපචාර සම්බන්ධ බෞද්ධ සිරකරුවන් 19ක් සිටින අතර, සැකකරුවන් ලෙස 4දෙනෙක් සිටිති. ඒ අතර හින්දු සිරකරුවෙක්ද සිරගතව සිටියි.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් 03ක් සිටින අතර, ඒ අතර එක් සැකකරුවෙක්ද වේ.

මිනී මැරුම් චෝදනා යටතේ බෞද්ධ පූජකවරුන් දෙදෙනෙකු සිටින අතර, එහි සැකකරුවෙක් සිටින බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම හින්දු සිරකරුවන් එක් අයෙකුද, කතෝලික සැකකරුවෙකුද ඒ අතර සිටින බවද රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය.



මුදල් වංචා බෞද්ධ පූජකවරුන් දෙදෙනෙකුද, හින්දු පූජකවරයෙක්ද සිරගතව සිටින අතර, නිධන් හෑරීම සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් තිදෙනෙක්ද සිරගතව සිටිති.

බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් බෞද්ධ පූජකයන් දෙදෙනෙකු සිරගතව සිටින බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

එමෙන්ම බාලවයස්කාර දැරියන් දූෂණය කිරීම සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරයෙක්ද සිරගතව සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ළමා අපචාර (බාලවයස්කාර දැරියන් දූෂණය, බාල වයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය) සඳහා බෞද්ධ පූජක සැකකරුන් 20ක්ද, බෞද්ධ පූජක සැකකරුන් 05 දෙනෙකුද, හින්දු සිරකරුන් එක් අයෙක්ද සිරගතව සිටිති.

එමෙන්ම ස්ත්‍රී දූෂණ (බරපතළ ලිංගික අපයෝජනී, ලිංගික අතවරයට තැත් කිරීම, ස්ත්‍රියකට සාපරාධී බලපෑම්) සඳහා බෞද්ධ පූජකවරුන් 05දෙනෙකු සහ බෞද්ධ පූජක සැකකරුන් 05 දෙනෙකු සිරිගතව සිටින බවද අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
- දිනේෂ් සමරකෝන්