පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා පානිය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා නම්, ඒ පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ආපදා සහන සේවා නිලධාරීවරයා දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

වියළි කාලගුණ තත්ත්වය නිසා පානීය ප්ල හිඟයකට මුහුණදී සිටින ජනතාවට බවුසර් යොදාගෙන ජලය ඛෙදාහැරීම් සිදුකරන බවත්, පෙරේදා(08දා) දිනය වනවිට පානීය ජලය බෙදාහැරීම සඳහා රුපියල් ලක්‍ෂ විසිඅටකට අධික මුදලක් වැය කර තිබෙන බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.



පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 06ක පවුල් 28,837කට අයත් පුද්ගලයන් 92,731ක් ඊයේ දිනය වනවිට පීඩාවට පත්ව සිටි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

 මේ ආකාරයට පීඩාවට පත්ව සිටින ජනතාවට ජලය බෙදාහැරීම් සිදුකරන බවත්, ජලය බෙදාහැරීමට අවශ්‍ය මුදල් මේ වනවිට දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලට මුදාහැර තිබෙන බවත් එම මධ්‍යස්ථානය පවසයි.



එසේම යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21,714කට අයත් පුද්ගලයන් 69,113ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 952කට අයත් පුද්ගලයන් 3,214ක් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 60කට අයත් පුද්ගලයන් 215ක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 2,747කට අයත් පුද්ගලයන් 8,982ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1,896කට අයත් පුද්ගලයන් 5,737ක් ඊයේ දිනය වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන්දික හේවාවිතාරණ