The-student-president-who-called-the-Peradeniya-Dean-and-gave-a-fake-call-asking-the-police-to-come

පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාට දුරකථන ඇමතුම් දී පරීක්ෂණ කටයුත්තක් සදහා පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දීමක් කළේ යැයි කියන එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයක සභාපතිවරයාට එරෙහිව එම පීඨාධිපතිවරයා පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණිය පොලීසිය පවසයි.
පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියමින් පේරාදෙණිය පොලිසියට ඉකුත් 20 වැනිදා දුරකතන ඇමතුමක් දී එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි කොස්තාපල්වරියකගෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපතිවරයාගේ දුරකතන අංකය ඉල්ලාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (25) පැවසීය.


නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටි එම පුද්ගලයා පසු දිනක පීඨාධිපතිවරයාගේ ජංගම දුරකතනයට ඇමතුම් පහක් ගෙන ඇතත් පීඨාධිපතිවරයාට ඒ අවස්ථාවේ ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වි ඇති අතර පසුව එම අංකයට කතා කර ඇත.
තමා පොලිස් මූලස්ථානයේ රාජකාරී කරන නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව ඔහු පිඨාධිපතිවරයාට දැනුම් දී ඇතැයි පොලීසිය කියයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට බැණ වැදීම නිසා සිසුන් කලබලයට පත්වී කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා වරෙන්තුවක් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කතා කළ පුද්ගලයා දැනුම් දුන්නේ යැයි පියාධිපතිවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව දැන ගැනීමට ඇත.
විශ්ව විද්‍යාලයේ ඇති සියලුම ලිපි ලේඛන 21 වැනිදා උප කුලපතිවරයාට බාරදී පරීක්ෂණයක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දැනුම් දුන් බවද පිඨාධිපතිවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.


පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස පෙනී සිටිමින් තමන්ට කතා කළේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයක සභාපතිවරයකු බවද පීඨාධිපතිවරයා පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පෙනී සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නමද එම පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
පේරාදෙණිය පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය