The-gang-of-three-who-robbed-the-house-of-a-Bribery-Commission-sergeant-was-arrested

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් සැරයන්වරයකුගේ මොරගහහේන තලගල නිවසට කඩා වැදී නිවසේ තනිව සිටි ඔහුගේ මවගේ දෑත් දෙපා සහ මුව බැඳ රුපියල් ලක්ෂ 3 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ තිදෙනකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. සැරයන්වරයාගේ මවද හිටපු පොලිස් නිලධාරිනියක බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු හමුදා සෙබළකු, බිල්ලා නමැති අන්වර්ථා නාමයෙන් හඳුන්වන පෙදරේරුවකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

හිටපු හමුදා සෙබළා සහ තවත් පුද්ගලයෙකු පොලිස් සැරයන්වරයාගේ නිවෙසට ආසන්න නිවෙසක පදිංචි බිල්ලා නමැත්තකු දුන් ඔත්තුවක් අනුව සැරයන්වරයාගේ නිවසට කඩා වැදී මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලිසිය කියයි. ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා සෙබළා බ්‍රාහ්මණගම ප්‍රදේශයේදී ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙලිවූ තොරතුරු අනුව ඔත්තු දුන් බිල්ලා නමැති පෙදරේරුවා සහ අනෙක් පුද්ගලයා මතෙගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.



මත්තේගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු පැය දෙකකින් ආපසු ගෙනත් දෙන බව පවසා ඇඹිලිපිටියේ ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් යතුරුපැදියක් මත්තෙගොඩ ගරාජයක තිබී ලබාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි. සැරයන්වරයාගේ නිවසින් කොල්ල කන ලද රන් භාණ්ඩ මහරගම සහ මත්තේගොඩ ප්‍රදේශයට උකස් කර එම මුදලින් රුපියල් තිස් දහසක මුදලක් ඔත්තු දුන් බිල්ලා නමැත්තාට දී අනෙක් මුදල් සැකකරුවන් දෙදෙනා අතර බෙදා ගෙන තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ