Relatives-identify-dead-womans-body-on-top-of-Great-Western-Mountains

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේ තිබී පසුගිය 01වැනිදා ලිඳුල පොලීසිය සොයාගත් අබිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුර පෙරේදා (22දා) දින ඇයගේ නීත්‍යනුකූල සැමියා සහ ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් අනතුරුව නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත සිරුර පෙරේදා (22දා) දින පස්වරුවේ ඥාතීන් වෙත භාරදුන් බව ලිදුල පොලීසිය පවසයි.

මියගිය කාන්තාවගේ සිරුර හඳුනාගැනීම සඳහා ලිදුල පොලීසිය මගින් එම කාන්තාවගේ ඇඟිලි සලකුණු රැගෙන ඇඟිලි සලකුණු පොලිස් දෙපාර්තමේන්තුවේ ඇගිලි සලකුණු රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත යොමු කිරීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ඇඟිලි සලකුණු එම රෙජිස්ටාර් කාර්යාලයේ සටහන් වී තිබූ බවත්, ඒ අනුව මියගිය කාන්තාවගේ ඥාතීන් හඳුනාගැනීමට හැකිවූ බව ලිදුල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා පැවසීය.

මෙසේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේ අබිරහස් ලෙස මියගොස් සිටියේ, තංගල්ල, කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂාණි (අවු.36) නමැති මුස්ලිම් ජාතික කාන්තාවකි.



අබිරහස් ලෙස මියගොස් සිටි කාන්තාව නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්වී වෙනත් පුද්ගලයන් සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවත්, මියගිය කාන්තාවගේ නීත්‍යනුකූල විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙකු සිටින බවද පරීක්ෂණවලදී අනාවරණය විය.

මියගිය කාන්තාවගේ වම් අතෙහි මදුසංඛ' යනුවෙන් සටහන් කර තිබූ පච්චයෙන් ඇයගේ සැමියා විසින් සිරුර හඳුනාගත් බවත්, මියගිය කාන්තාව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනීම සදහා ලිඳුල පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කරයි.



ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේ තිබී හමු වූ පුනයිඩ් ක්‍රිෂාණිගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මෙය ඝාතනයක් බවට සැකකරයි.

අබිරහස් ලෙස මියගිය කාන්තාවගේ ශරීරයේ කොටස් කිහිපයක් අධිකරණ වෛද්‍යවරයා විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලිදුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හැටන් - රංජිත් රාජපක්ෂ/ චන්ද්‍ර සෙල්ලනේවා/ ශාන් හුලංනුගේ